(විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙ වෙනි වර කියවීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා 2020.10.22 වෙනි දින සිදුකළ දේශනය.)
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
විසි වැනි සංශෝධනයේ පසුබිම කුමක් ද, විසි වැනි සංශෝධනයේ අරමුණ කවරේ ද, විසි වැනි සංශෝධනය මුහුණ දෙන අභියෝග කවරේ ද, යන කරුණු පිළිබඳ අප ගේ යුතුකම ජාතික සංවිධානයේ විග්‍රහය මේ ගරු සභාව හමුවේ තබමින් මා මේ අදහස් දැක්වීම ඇරැඹීමට කැමති යි.
විසි වැනි සංශෝධනයේ ආසන්න පසුබිම වන්නේ, 2015 වසරේ 'යහපාලනය' නාමයෙන් ක්‍රියාවට නැඟුණු විජාතික කුමන්ත්‍රණයේ දුෂ්ට අරමුණු කරා යෑම පිණිස තැනූ පහුර වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යි. ෆෙඩරල් නැතිනම් ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම මඟින් මේ රට අනාථ භූමියක් කිරීම, සදාදරණීය මව්බිම කැබලි කිරීම, සුදු ලෝක අධිරාජ්‍යයේ හමුදා කඳවුරක්, සැපයුම් මධ්‍යස්ථානයක්, වහල් බිමක් කිරීම - ඒ සඳහා ඉඩ හසර විවර කරගැනීමටයි, 19 වැනි සංශෝධනය ගෙන ආවේ. 19 ඒ ඉලක්කය කරා යෑමට තැනූ පහුර යි.
දහ නවයෙන් රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරිමට, රනිල් වික්‍රමසිංහ අගමැති අතට වංචනික ලෙස බලය සංකේන්ද්‍රණය කිරීමට හා රාජ්‍ය ව්‍යුහය දුර්වල කිරීමට උත්සාහ කළේ මවුබිම අනාථ භූමියක් කිරීම, මවුබිම කැබැලි කිරීම යන ඉලක්කය සපුරා ගැනීම පිණිස ය. විසි වැනි සංශෝධනයේ අරමුණ මේ 19 නිෂේධනය යි.
රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට දැරූ ප්‍රයත්නය අද වන විට මේ රටේ ජනතාව විසින් සහමුලින් ම පරාජය කර අවසාන ය. රනිල් වික්‍රමසිංහ අගමැති අතට බලය සංකේන්ද්‍රණය කර ගැනීමට දැරූ ප්‍රයත්නය මෙ රට ජනතාව පරාජය කළා පමණක් නොව ඒ දුෂ්ට ප්‍රයත්නයේ නියමුවන් දේශපාලන අනාථයන් බවට ද පත් කර ඇත. දහනවයෙහි පරාජය කිරීමට ඉතිරිව ඇත්තේ රාජ්‍ය දුර්වල කිරීමට ගත් ක්‍රියාමාර්ග නිවැරැදි කිරීම යි. විසි වැනි සංශෝධනයේ අරමුණ වනුයේ මෙය යි.
එ සේ නම් ඒ දුෂ්ට අරමුණු සහිත 19 පිටු දැකීමට 20 ගෙන එන විට අපි, යුතුකම සංවිධානය මෙ තරම් සංවේ දී වූයේ ඇයි? සමස්ත 19ම ඉරා දමනවාට යුතුකම ඇතුළු ජාතික බලවේග සංවේදී ඇයි? ඒ 19 දුෂ්ට අරමුණු සඟවා ගනු පිණිස, 2015 විජාතික කුමන්ත්‍රණයට මෙ රට ජන මනස රවටා ගනු පිණිස, 19ට ඇතුළු කර තිබූ සාධනීය අංග ලක්ෂණ රැකගනු පිණිස ය.
අප දකින ආකාරයට ඇමැති සංඛ්‍යාව සම්බන්ධයෙන් 19න් පැන වූ සීමා, ඡන්දය මගින් පළ වන ජනමතය විපරිත වීම වළක්වා ගනු පිණිස, මහජන නියෝජිතයන් මුදලට අලෙවි වීම වළක්වා ගනු පිණිස, විශේෂයෙන් ම අන්තවාදී ආගමික පක්ෂවල කප්පම් දේශපාලනය වළක්වා ගනු පිණිස මේ රටේ ජනයා ගේ ප්‍රාර්ථනාවකි.
හදිසි පනත් ලෙස මේ තාක් ගෙනැවිත් ඇත්තේ ඉන්දියාවට කප්පම් දීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙන ආ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත්, ආගමික දේශපාලනය භෞතීස්ම කරමින් කප්පම් දීමට ආර්. ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා (එවකට අගමැතිතුමා) ගෙන ආ 15 වැනි සංශෝධනයත් පමණි. ඒ අන්තවාදයට හා විජාතිකත්වයට කප්පම් දීමේ දේශපාලනය තම ප්‍රතිපත්තිය කරගත් පසුගිය රජය, හදිසි පනත් ගෙන ඒමේ අවකාශය අහුරා දමන්නේ තමන් ගේ අභිලාෂ වසන් කරගනු පිණිස යි. ජනතාව මුළා කරගනු පිණිස යි. එහෙත් මවුබිම වෙනුවෙන් අධිකරණයට යෑමේ ඉඩහසර මේ රටට ආදරය කරන දේශප්‍රේමී ජනයා ගේ අයිතියකි.
විගණනය පිළිබඳ එතෙක් ව්‍යවස්ථාවේ පැවති ප්‍රතිපාදන තව දුරටත් තහවුරු කෙරෙන වගන්ති 19ට ඇතුළු වූයේ ඔවුන් හොරකමට එරෙහිව, ජාතික සම්පත් විජාතිකකරණයට එරෙහිව නැඟූ ව්‍යාජ ඝෝෂාවට ජනයා රවටා ගනු පිණිස යි. හොරකමට එරෙහිව, විජාතිකකරණයට එරෙහිව විගණකාධිපතිතුමා ගේ කාර්යභාරය ශක්තිමත් කරන වගන්ති ගෙනෙන ගමන් සිදු කළ මහබැංකු බැඳුම්කර හොරකමින්, හම්බන්තොට වරාය කුණුකොල්ලයට 99 වසරකට බදු දීමෙන් මේ බව පැහැදිලි යි. සොරකමට එරෙහිව, විජාතිකකරණයට එරෙහිව, රාජ්‍ය දේපොළ, ජාතික සම්පත් රැකගැනීම ජනතා පැතුමකි.
ඇමති ධූර සංඛ්‍යාව පිළිබඳ 19 වැනි සංශෝධනයේ සීමාවන් රැකගැනීමට, විවිධ අණපනත්වල අහිතකර වගන්ති අභියෝගයට ලක්කරමින් අධිකරණයට යෑමේ රටවැසියා ගේ අයිතිය රැකගැනීමට, රාජ්‍ය ආයතන, මහජන දේපොළ සහ සබැඳි විගණකාධිපතිතුමා ගේ සුපරීක්ෂාව පවත්වාගෙන යෑමට යුතුකමේ අපි, ජාතික සංවිධාන හා ගරුතර සංඝරත්නය මැදිහත් වූයේ ඒ නිසා යි. ඒ ජාතික මතයට අතිගරු ජනාධිපතිතුමා, අතිගරු අගමැතිතුමා ප්‍රමුඛ අපේ රජය කන්දීම පිළිබඳ ව අපි අපේ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නට කැමැත්තෙමු.
විසි වැනි සංශෝධනය මුහුණ දුන් අනෙක් දැවැන්ත අභියෝගය වූයේ 19 පමණක් නොව 77 ව්‍යවස්ථාව ම, ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව ම, ඒ තාක් කෙරුණු සංශෝධන සියල්ල ම පාහේ ම රට වෙනුවට, ජනතාව වෙනුවට, ඒ ඒ දේශපාලන පක්ෂවල, ඒ ඒ දේශපාලන නායකයන් ගේ බලය රැකගැනීමේ, බලය තහවුරු කිරීමේ කෑදර ප්‍රයත්නයන් වීම ය.
විශේෂයෙන් ම ජනාධිපති නීතීඥ මනෝහර ආර්. ද සිල්වා මහතා ගේ "බෙදුම්වාදීන් ගේ උපාය මාර්ග හා ව්‍යවස්ථා සංශෝධන" කෘතිය පෙන්වා දෙන පරිදි 13 වැනි සංශෝධනයෙන් පසු කෙරුණු බොහෝ සංශෝධන බෙදුම්වාදය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව සිදුකර ඇති බව පැහැදිලි ය.
මේ නිසා 19න් ඉවත් වීමට ඔසවන පය ආපස්සට තබන්නේ කොතැන ද? පය තැබීමට යන සැම තැන ම බොරු වළවල් නම්, මරුවැල් නම්, බිම්බෝම්බ නම්? මේ නිසා යි, යුතුකමේ අපි ජනාධිපතිවරණයට පෙර ම 'මරාගෙන-මැරෙන බෝම්බ, ව්‍යවස්ථා බෝම්බ පරදමු!' යනුවෙන් ජනයා දැනුම්වත් කිරීමට කටයුතු කළේ.
නව ව්‍යවස්ථාව සකසන තෙක්, ඉදිරියට පය තබන තෙක්, තාවකාලික පියවරක් ලෙස ආපස්සට යෑමට, විස්සෙන් දහනවය අහෝසි කිරීමට ගන්නා ප්‍රයත්නය අභියෝගාත්මක වූයේ, වන්නේ මේ නිසා යි. බලන්න, 1987 වසරේ පටන්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පටන් අපේ ව්‍යවස්ථාවට
ඇතුළත්ව ඇති මේ වගන්තිය: 2015 ප්‍රතිශෝධිත මුද්‍රණයේ 240-241 පිටු, 13 වන සංශෝධනයට අදාළ II වැනි ලැයිස්තුව (සංවෘත ලැයිස්තුව),
"සියලු විෂයයන් සහ කර්තව්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය" යටතේ, "රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික සුරක්ෂිතතාවය, අභ්‍යන්තර ආරක්ෂාව, නීතිය හා යථා පැවැත්ම" යටතේ (අ), (ආ) ආදී ලෙස දක්වා ඇති විෂයයන් ගෙන් අවසාන ලෙස දක්වා ඇති (ඔ) විෂය කියවා බලන්න:
"යම් පළාතකට අයත් පොලිස් හමුදාවක සාමාජිකයන් සතු බලතල" ආදී ලෙස ඇරඹෙන ඒ වගන්තිය අවසන් වන්නේ,
"යම් පළාතකට අයත් පොලිස් හමුදාවක සාමාජිකයෝ සතු බලතල හා ඒ බලතලවල විෂය පථය ඒ පළාතෙන් පිටත දුම්රිය ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීම" ලෙස ය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ උත්තරීතර සභාවේ ගරු මහජන නියෝජිතයිනි, මොනවා ද මේ 'දුම්රිය ප්‍රදේශ'? මෙ වැන්නක් අපේ රටේ තිබේ ද? තිබුණා ද?
මේ ගැන සොයද්දී ලැබුණු පිළිතුර වූයේ ඉන්දියාවේ 'දුම්රිය ප්‍රදේශ' ඇති බව ය. මේ ව්‍යවස්ථාව අපේ රටේ කෑදර දේශපාලකයන් ගේ වුවමනාවන් මත පමණක් නො ව අසල්වැසි ඉන්දියාවේ කෑදර අභිලාෂ වෙනුවෙන් ද කෙලෙසා, දූෂණය කරන ලද්දක් බවට තව දුරටත් කරුණු දැක්විය යුතු ද?
විස්ස යනු දහ නවය ඉවත් කිරීමක් පමණක් ම යැයි කීව ද ගරු අධිකරණ ඇමැතිතුමාත් රජයත් මැතිවරණ කොමිසමේ සාමාජික සංඛ්‍යාව පස් දෙනකු තෙක් වැඩි කිරීමට ගත් තීරණය, ඉදිරියට පය තැබීමට ගත් තීරණය අප අගය කරන්නේ අවසාන වශයෙන් අප රටේ ජනීජනයා ගේ අභිලාෂ ඉටුකළ හැක්කේ, 69 ලක්ෂයක ජනවරමට යුක්තිය ඉෂ්ට කළ හැක්කේ, ඉදිරියට පය තැබීමෙන් ම, නව ව්‍යවස්ථාවක් සම්පාදනයෙන් ම පමණක් බව ඉතා පැහැදිලි බැවිනි. ලබන වසරේ නොවැම්බරයට පෙර අතිගරු ජනාධිපතිතුමා ගේ පදවිප්‍රාප්තියේ දෙ වන සැමරුමට පෙර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ප්‍රයත්නය අපි දෝතින් ම වැළඳ ගන්නේ මේ නිසා ය.
දැන්, 20 වන සංශෝධනයේ මුල් කෙටුම්පතේ නිවැරැදි විය යුතු කරුණු ගණනාවක් අපි, යුතුකම සංවිධානය දුටු බව, ඒ නිවැරැදි කිරීම් කරගැනීමට මැදිහත් වූ බව කවුරුත් දනිති. 7 වන උපලේඛනයට අනුව බෙදුම්වාදී ප්‍රයත්නයන්ට දායක නො වන බවට වන ප්‍රතිඥාව, 53 වන හා 61 (ඇ) වගන්තිවලට ඇතුළත් කිරීම හා ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති ලේකම් කාර්යාලය විගණකාධිපති ගේ විෂය පථයට අයත් බවට අවධාරණය කිරීම නීතිපතිතුමා මඟින් අධිකරණයට දැනුම් දුන් සංශෝධනවලට ම ඇතුළත් ව තිබිණි.
ඉන් ඉක්බිති ව, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ දී අප කළ කරුණු දැක්වීම්වලට අනුව ඒ ඉල්ලීම් ලිඛිතව අගමැතිතුමා හට ලබාදෙන ලෙස අතිගරු ජනාධිපතිතුමා කළ දැනුම්දීමට අනුව, අප විසින්, යුතුකම විසින් තව දුරටත් කරුණු 07ක් නිවැරැදි කරන ලෙස ගරු අගමැතිතුමා ගෙන් ඉල්ලා සිටින ලදි. ඒ ලිපිය මේ අවස්ථාවේ දී සභාගත කිරීමට කැමැත්තෙමි.
මේ ඉල්ලීම් අතරින්, 50%කට වැඩි කොටස් ජනයා සතුව ඇති, සමාගම් පනත යටතේ පිහිටුවා ඇති, ආයතන විගණකාධිපතිතුමාගේ විෂය පථයට යටත් කිරීම, රටවැසියාට පනත් සම්බන්ධයෙන් අධිකරණයට යෑමේ අවස්ථාව තහවුරු කිරීම, අමාත්‍ය ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් පැවැති සීමා තවදුරටත් පවත්වා ගෙන යෑම යන කරුණු අතිගරු ජනාධිපතිතුමා අතිගුරු අගමැතිතුමා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය මඟින් ගත් තීරණයට අනුව කාරක සභා අවස්ථාවේ නිවැරැදි වීමට නියමිත ය.
ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර නැතිනම් ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව අතර යම් තුලනයක් ඇති කිරීමට අප කළ යෝජනාව ද අප යෝජනා කළ ආකාරයට නො වුව ද, තේරී පත්වී වසර 2 1/2 (දෙකහමාරක්) යන තෙක් පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාට විසිරවීමට නො හැකි වීම මඟින් තහවුරු වී ඇති බව අප ගේ අදහස යි.
ඒ හා සමඟ ම ඉහළ අධිකරණවල විනිශ්චයකාරතුමන් ලා, කොමිසන් සභාවල සභාපතිවරුන් හා සාමාජිකයන් පත් කිරීම හා නීතිපති, පොලිස්පති ඇතුළු ඉහළ තනතුරුවලට පත් කිරීමේ දී පැවති ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පිහිටු වීමට අපි එකඟ ය. එහි දී අතිගරු ජනාධිපතිතුමා ගේ අභිමතය ද, විශේෂයෙන් පොලිස්පති හා නීතිපති සම්බන්ධයෙන් වැදගත් බව අපි පිළිගනිමු. විසඳාගත යුතුව ඇත්තේ පාර්ලිමේන්තු සභාවට කළ හැක්කේ හුදු නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණක් ද යන්න ය.
එකී පත්වීම් කිරීමේ දී ජනාධිපතිතුමා නිරීක්ෂණ ලබා ගැනීම අනිවාර්ය බව, 41(අ) වගන්තියෙහි (20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 5 පිටුව) "නිරීක්ෂණ ඉල්ලා සිටීම කළ යුත්තේ ය," යනුවෙන් සඳහන් වීමෙන් පෙනේ. එ සේ නම් ඒ නිරීක්ෂණවලට අනුකූල ව එම පත්කිරීම් සිදු කිරීමෙහි ආදර්ශය දෙන ලෙස අපි අතිගරු ජනාධිපතුමා ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. 41(අ)(10) වගන්තිය මඟින් එ සේ පත් කරනු ලබන තැනැත්තන් ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් යම් නීතියකින් විධිවිධාන සලස්වා ඇති ආකාරයට මිස නො කළ යුතු බව ප්‍රකාශිත බැවින් ඒ තනතුරු දරන්නන්ට ස්වාධීනව කටයුතු කිරීමේ පරිසරය සුදුසු පරිදි තහවුරු කර ඇති බව අප ගේ හැඟීම යි.
41(අ) (11) මගින්, "සභාවේ නිරීක්ෂණ ලබා ගැනීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය කතානායකවරයා විසින් නිශ්චය කරනු ලැබිය යුත්තේ ය," යි ප්‍රකාශිත බැවින් ගරු කතානායකතුමා ඒ නිරීක්ෂණ මේ සභාවට දැනුම් දීමට තීරණය කළහොත් මේ පත්කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මැදිහත් වීම වඩාත් තහවුරු වනු ඇත.
මෙහි දී පාර්ලිමේන්තු සභාවට ගරු අගමැතිතුමා ගේ හා විපක්ෂ නායකතුමා ගේ නියෝජිතයන් පත්කිරීමේ දී 20 වැනි සංශෝධනයෙහි පනවා ඇති නිර්නායක මේ 21 වන සිය වසට නො ගැළපෙන බව ද කිව යුතු ය. ගරු අධිකරණ ඇමැතිතුමෙනි, ඔබතුමා ගේ හැකියාව, වෘත්තීය නිපුණතාව ආදී නිර්නායක නො සලකා හුදු ලබ්ධිය මත පදනම් ව කරන විවේචන මේ 21 වැනි සියසවට නො ගැළපෙන්නේ යම් සේ ද, ඒ ලෙස ම අධ්‍යාපනය නැතිනම් වෘත්තීය සුදුසුකම් වෙනුවට අපැහැදිලි 'ජන කොට්ඨාස' යන නිර්ණයක් ඉදිරිපත් කරතිබීම ගැන අපි කණගාටු වෙමු. 'ජන කොට්ඨාස' තීරණය කරනු ලබන්නේ ජනවර්ගය මත ද? අදහන ආගම මත ද? කුලය මත ද? මීට පෙර අගමැතිතුමාට බලපෑ ආදිශිෂ්‍ය සංගම් අනුව ද? කාරක සභා අවස්ථාවේ දී හැකි නම් මේ නුසුදුසු නිර්ණායකය නිවැරැදි කරන ලෙස ඉල්ලා සිටිමු.
අවසාන වශයෙන් විස්ස ද නව ව්‍යවස්ථාව කරා අප යන ගමනට ආධාරයක් උපකාරයක් ම වේවා යි ප්‍රාර්ථනය කිරීමට අපි කැමැත්තෙමු. 69 ලක්ෂයක ජනතා පැතුම හා අප ගේ විපක්ෂයේ මහජන නියෝජිතයන් ද ඒකාත්මික වී ඇති බව ඔවුන් පුනපුනා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන ලෙස මේ විවාදය පුරා කරන ඉල්ලීම්වලින් පැහැදිලි ය.
ජේ.ආර්. ගේ කෑදර, දූෂිත, ලේ තැවරුණු ව්‍යවස්ථාව වෙනුවට මවුබිමේ අතීත සභ්‍යත්ව උරුමය මත පදනම් ව අනාගතය කරා අප සිය රැගෙන යන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට කැප වීමට ඔබ සියලු දෙනාට ආරාධනා කිරීමට කැමැත්තෙමු. එහි දී මූලික ව මැතිවරණ ක්‍රමය ගැන හා පළාත් සභා පිළිබඳ ව මවුබිම ඉල්ලා සිටින නිවැරැදි කිරීම් සිදුකළ යුතු බව, රණවිරුවන් දිවිපුදා රැකගත් ඒකීය රාජ්‍යය ශක්තිමත් කළ යුතු බව, සෑම ග්‍රාම සේවක කොට්ඨාසයක ම සියලු ගම්වැසියන් සාමාජිකයන් වන ග්‍රාම පාලන ව්‍යුහයක් නිර්මාණය කළ යුතු බව යුතුකමේ අපි විශ්වාස කරමු.
විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් යුතුකමේ අපි, ජාතික සංවිධාන, වෘත්තීය සංවිධාන හා ගරුතර මහා සංඝරත්නය මතු කළ කරුණුවලට අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ප්‍රමුඛ රජය දැක් වූ සංවේදීතාව මෙන් ම, එහි දී මහා සංඝරත්නය කළ සුවිශේෂි මැදිහත් නව ව්‍යවස්ථාව පිළිබඳ විශාල ජාතික පිබිදීමකට හේතු සාධක වෙමින් ඇති බව කෘතඥපූර්වක ව ප්‍රකාශ කරමු!
ගෙවිඳු කුමාරතුංග
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
2020.10.22
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .