6/08/2020

මහින්ද මෙහෙවර කූඨප්‍රාප්තිය කරා

කතෘ:යුතුකම     6/08/2020   No comments


-ගෙවිඳු කුමාරතුංග
මහින්ද රාජපක්ෂ ජනනායකයා ගේ පාර්ලිමේන්තු දිවියට පනස් වසරක් සපිරීම මුල් කරගෙන එතුමාගේ සුවිශිෂ්ට දේශපාලන ජීවිතය පිළිබඳව, අපගේ මව්බිමට ඉටු කළ යුගයුග අනුස්මරණීය සේවාව පිළිබඳ ව කතාබහක්, සමාජ සංවාදයක් පැනනැගීම අපගේ, අප රටේ ඉමහත් වාසනාවකි. මේ ඒ සංවාදය සඳහා සුදුසුම කාලය යි.

මේ අදහස් දැක්වීම සඳහා ලැබුණු අවස්ථාව ඉත සිතින් භාරගත්තේ මහින්ද ජනාධිපතිතුමාගේ මහා මෙහෙවර ඇගයීම අපගේ යුතුකමක්, වගකීමක් වන නිසාම නොවේ. ගැමුණු මහ රජතුමන්ගේ මහ මෙහෙය මහාවංශ, ථූපවංශ කතුවරයන් වහන්සේලා අතින් රචනාවීම, අරුත් ගැන්වීම හා ඒ මගින් ජනිත කළ හුදීජන ප්‍රසාදය වසර දහස් ගණනක් පුරා අප රටට, එහි ජනීජනයාට වැඩදායී වූයේ යම් සේද, තවදුරටත් වෙමින් පවතින්නේ යම් සේ ද මහින්ද ජනාධිපතිතුමාගේ මහා මෙහෙවර පිළිබඳ සාකච්ඡාවද එලෙසම වසර දහස් ගණනාවක් පුරාවට අප රටට, ජනතාවට වැඩ සඳන්නක් වන නිසා මද නොවේ. මහින්ද මෙහෙයෙහි කූටප්‍රාප්තිය එළැඹෙන මහ මැතිවරණයට පෙර දියත් කෙරෙන හූදී ජන සංවාදයක් මතින් උදා කරගත යුතුව ඇති බැවිනි. එළැඹෙන මහ මැතිවරණයෙන් අතිවිශාල අනුමැතියක් ලබමින් සාක්ෂාත් කරගතව ඇති හෙයිනි. ඒ අනුව බලන කළ නව කොරෝනා වසංගතය නිසා හෝ වේවා, ගෝඨාභය-මහින්ද රජයට අබමල් රේණුවක හෝ අප්‍රසාදයක් ඇති වේවා යන පැතුමෙන් මහ මැතිවරණය දිනයකින් හෝ කල් දමාගැනීමට වෙට්ටු දමන විපක්ෂයේ නැතිනම් මැතිවරණ කොමිසමේ ඇතැම් සාමාජිකයන් නිසා හෝ වේවා මහින්ද මෙහෙවර පිළිබඳ සංවාදය මහ මැතිවරණයට පෙර දියත්වීම රටේ ඉමහත් භාග්‍යයකි.

ඒ පිළිබඳ සාකච්ඡාවට පෙර මහින්ද රාජපක්ෂ යුග මෙහෙවර සැකෙවින් මෙනෙහි කරමු.

සටන්කාමී නායකයා

මහින්ද රාජපක්ෂ මහතා 1970 පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා ලෙස කටයුතු කිරීම පිළිබඳ අපට මතකයක් නැත. මුල්ම මතකයන් වන්නේ 1983 මුල්කිරිගල අතුරු මැතිවරණය සමගය. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර, 1982 ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ප්‍රමුඛ ඒ.ජා.ප.ය රජය, පාර්ලිමේන්තුවේ සිය 5/6 බලය තවදුරටත් රැකගැනීමට සිදු කළේ මහා මැතිවරණය වෙනුවට ප්‍රෝඩාකාරී ජනමත විචාරණය පැවැත්වීමය. රාජ්‍ය බලයත්, මැර බලයත් උපරිමයෙන් යොදා පැවැත්වූ ඒ ජනමත විචාරණයේ දී එ.ජා.ප. මතය පරාජය වූ ආසන සඳහා පමණක් අතුරු මැතිවරණ පැවැත්විය. සීමිත කොට්ඨාස සංඛ්‍යාවක් සඳහා පමණක් පැවැති මේ අතුරු මැතිවරණ ද සම්පූර්ණ මැර බලය යොදා ජයගැනීම එ.ජා.ප.යේ අරමුණ විය. මුල්කිරිගල සඳහා තරග කළේ චමල් වුවත් ඒ මැර බලය ඉදිරියේ දණ නොගැසූ මහින්ද රාජපක්ෂ නම් සටන්කාමියා ගැන රටට දැනගන්නට ලැබුණේ ය.

ඊට පසු එළැඹුණේ එක්සත් ජාතික පක්ෂයේ භීෂණය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රති භීෂණය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් වූ කාලයකි; රට ම අමුසොහොනක් වූ යුගයකි. රණසිංහ ප්‍රේමදාස ජයගත් 1988 ජනාධිපතිවරණය සේම 1989 මහ මැතිවරණය ද පැවැත් වුණේ නන්නාදුන තුවක්කුකරුවන් දඩයමේ යද්දී ය; එ.ජා.ප.යේ හා ජ.වි.පෙ. ඝාතකයන් උනුන්ව මරාගනිද්දී ය; ඒ සමගම උන් දෙගොල්ලන් ම තමතමනට අභියෝගයක් විය හැකි යැ යි සිතූ නිරායුධ මිනිසුන් සියදහස් ගණනින් මරාදමද්දී ය. මේ ප්‍රචණ්ඩත්වය මැද, අසරණ වූ මිනිස් ජීවිත වෙනුවෙන් හඬ නැඟූ මහින්ද රාජපක්ෂ යළි පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ආර්. ප්‍රේමදාස අගමැතිතුමාට ජනාධිපති වීමට සේවය කළ භීෂණය ජ.වි.පෙ. යුගයක අවසානය ද සනිටුහන් කළේ ය. ඒ වනවිට සිරිමාවෝ මැතිනිය නොනවත්වා එල්ල කෙරුණු එ.ජා.ප. ප්‍රහාරයන් ගෙන් ද, ඒ සතුරා හා සටන පසෙක තබා පුතා (අනුර) හා දුව (චන්ද්‍රිකා) එකිනෙකා හා කළ කුලල් කෑමෙන් ද හෙම්බත් ව සිටියා ය. විජය කුමාරතුංග ඝාතනය කෙරී තිබුණු අතර චන්ද්‍රිකා එංගලන්තයට පළාගොස් තිබුණි. අනුර බණ්ඩාරනායකගේ නායකත්වය පාර්ලිමේන්තුවේ ඉංගිරිසියෙන් කෙරෙන කතාවලට සීමා වී තිබිණි. බහුතර ජනතාවකගේ හදවතේ ඇණවුමට ඵරෙහි ව ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂවීමේ හා පළාත් සභාවලට පිහිටුවීමට එ.ජා.ප. සහකරුවන් වීමේ හේතුවෙන් වම ආණ්ඩු විරෝධීන් ගෙන් වියෝ වී තිබිණි. සොත්ති උපාලිලාගේ පාතාලයෙහි ක්‍රියාකාරකම්, පොලිසියේ ලෝරන්ස් අතුරු හමුදාවන්ගේ උකුසු ඇස් එ.ජා.ප.යේ ප්‍රබලයන්ට ද දරාගත නොහැකි පීඩනයක් ගෙනදෙමින් තිබිණි.

මහින්ද රාජපක්ෂ සටන්කාමී නායකත්වයෙන් කොළඹ සිට කතරගමට පාද යාත්‍රාවක් සංවිධාතය කෙරෙන්නේ මෙවන් පසුබිමක දී ය. එය අනුරව පාරට ගෙනාවේය, චන්ද්‍රිකාව ලංකාවට ගෙනාවේය, වාම බලවේග ජාතික බලවේග හා එක් කළේ ය. බියගන්වා, පළවාහැර සිටි ජනතාව ප්‍රජාතන්ත්‍රීය අවකාශයට යළි කැඳවනු ලැබුවෝය.

එතැන් පටන් මහින්ද රාජපක්ෂ විපක්ෂ මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් ජනඝෝෂා, මිනිස් දම්වැල් ආදි බොහෝ විරෝධතා සංවිධානය වීය. 1977 පටන් දශක දෙකක් පුරා සෑම මැතිවරණයක්ම ජයගත් එ.ජා.ප.ය 1994 දකුණු පළාත් සභා මැතිවරණය පරාජය විය. ඒ ද මහින්ද රාජපක්ෂ සෙන්පතියා සටන අත් නොහළ බැවිනි. චන්ද්‍රිකා මැතිනිය බස්නාහිර පළාතේ මහ ඇමැතිනියව, රටේ ම අගමැතිනියව, විධායක ජනාධිපතිනිය වන්නේ ඒ අනුවය.

රට බේරාදුන් නායකයා

විසි එක්වැනි සියවස උදා වන විට ලංකාව එහි ඉතිහාසයෙහි ගැඹුරුතම අර්බුදයකට මුහුණ දෙමින් පැවැතිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක චන්ද්‍රිකා මහත්මිය සේ ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා ද සාමයේ නාමයෙන්, ජනවාර්ගික සහෝදරත්වයේ නාමයෙන් මවුබිමේ පැවත්ම ම පාවා දෙමින් තිබිණි. විජාතිකත්වයේ සරණ ගිය මේ නායකයන් දෙදෙනා ප්‍රභාකරන් හා රට බෙදාගැනීමේ දී එකිනෙකාට විරුද්ධ නොවීමේ එකඟතාවකට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් (ඇමැති) ලියෝන් ෆොක්ස්ගේ මෙහෙයවීම මත එළඹ තිබිණි. දේශයේ භෞමික අඛණ්ඩතාව ඛණ්ඩනය වී භූමියෙන් තුනෙන් එකක්, මුහුදෙන් තුනෙන් දෙකක් තමන් ගේම යුද, නාවික, ගුවන් ත්‍රස්ත හමුදා සහිත, ඔවුන්ගේ ම පොලිසි, බැංකු, බදු, නූතන සන්නිවේදන පහසුකම් සහිත ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානයක පාලනයට නතු වී තිබිණි. ඒ බෙදුම් රේඛ නිරීක්ෂණයට ජාත්‍යන්තරයද මැදිහත් කරගෙන තිබිණි. ප්‍රභාකරන් ම්ලේච්ඡයාට මහතා යැයි අමතමින්, අතට අත දෙමින් අපගේ රාජ්‍ය නායකයන් අප වසර දහස් ගණනක් පුරාවට පෝෂණය කරමින් රැකගත් සභ්‍යත්ව උරුමය ම, යුක්තියේ උදාරත්වයේ ධජය ම නිහීන ලෙස, දීන ලෙස පාවා දෙමින් තිබිණි.

මෙරට ජනීජනයා තමන්ගේ නායකයකු, ජාතික නායකයකු සොයන්නට වූහ; පතන්ට වූ හ. මහින්ද රාජපක්ෂ ජන නායකයා මේ ජනතා පැතුමන්ට සංවේදී විය. දේශපාලන බලාධිකාරිය මහින්ද මහතාට දීමට බලාපොරොත්තු නොවූ විපක්ෂ නායකකම, අගමැතිකම හා අවසන ජනාධිපති අපේක්ෂකත්වය එතුමාට ලැබෙන්නේ ඒ අනුව ය.

මහින්ද ජනාධිපතිතුමා තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදයෙන් අප මව්බිම මුදවාගත් අයුරු විස්තර කථනයට මේ අවස්ථාව නොවේ. අවසාන වශයෙන් තුන් ලක්ෂයකට ආසන්න පුරාණ ඇපකරුවන් මුදාගනිමින්, ඒ හා සමග ම භූ-දේශපාලන වුවමනාවන් මත ලෝක බලවතුන් ගෙන් කෙරුණු දැවැන්ත බලපෑම්වලට යට නොවී ම්ලේච්ඡ ත්‍රස්ත නායකත්වය විනාශ කරමින් ලද ඒ සුවිශේෂ ජයග්‍රහණය මහාවංශයෙහි ලියැවී ඇති දේශයේ ධීර වීර වික්‍රම හා සමතැන් ගන්නා බවට සැකයක් නැත.

එහිදී මහින්ද ජනාධිපතිතුමා දේශපාලනය කළමනාකරණය කරගත් ආකාරය, ජනතාව හා හමුදා ඒ මහා අරගලයට සන්නද්ධ කළ ආකාරය, ලෝක බලවතුන්ගේ පීඩනය කළමනාකරණය කළ ආකාරය. තම ජීවිත අවදානම නොතකා සෙබළුන් දිරිමත් කිරීමට ඔවුන් අතරට ගිය අයුරු, බෝම්බ ප්‍රහාරයන්ට ලක්වූ ජනයාගේ දුක්වේදනා බෙදාහදා ගැනීමට ඔවුන් අතරට ගිය අයුරු, ප්‍රභාකරන් ම්ලේච්ඡයා බේරාගැනීමට බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ විදේශ ඇමැතිවරු පැමිණි විට, ඔවුන්ව ඇඹිලිපිටියේ වැව ඉස්මත්තට ගෙන ගොස් අප නිදහස් රටක් බව කියා පෑ අයුරු, ජයග්‍රාහී රාජ්‍ය නායකයා ලෙස මේ මවුබිමට වැඳ සිපගත් අයුරු - මේ මතකයන් මෙරට හුදී ජන හදවත්හි යුගයුග පවතිනවා නොඅනුමාන ය.

රට ගොඩනැගූ නායකයා

මහින්ද මහතා රට ගොඩ නැංවීම අරඹන්නේ 90 දශකයේ ඇමැතිවරයෙක් වීමත් සමඟය. එහි දී එතුමාට යමක් කළ නොහැකි වේ ය යි අපේක්ෂාවෙන්, නැතිනම් විපක්ෂයේ සිටිය දී එතුමා නායකත්වය දුන් කම්කරු ජනයා හා ගැටුමක් අපේක්ෂාවෙන් දුන් කම්කරු ඇමැතිකම එතුමා වෘත්තිය පුහුණුව, විදේශ රැකියා ආදි ක්ෂේත්‍ර ගණනාවකට පුළුල් කළේ විසල් දැක්මක් ප්‍රකට කරමිනි. අවසානයේ ඒ තාක් පැවැති එ.ජා.ප. රජයේ පුද්ගලිකරන ප්‍රතිපත්තිය ම චන්ද්‍රිකා රජයත් ඉදිරියට ගෙන යද්දී, ඊට එරෙහි ව කම්කරු ඇමැතිතුමා ඊ.පී එෆ්. අරමුදල් යොදවා ගනිමින් ඒ රාජ්‍ය ආයතන රැකගැනීමට ඉදිරිපත් වීම ජනතාවගේ පැත්තෙන්, රට පැත්තෙන් හිතන නායකයකුගේ ආගමනය සලකුණු කළේ ය.

නිදහසින් පසු ආර්ථිකය හා ජන ජීවිතය නැංවීමට මහින්ද ජනාධිපතිතුමා තරමට මැදිහත් වීමක් කළ නායකයකු වේ ද යන්න සැක සහිත ය.. පළමු අධිවේගය සමගින් මුළු රටේම මාර්ග පද්ධතියෙහි කළ පෙරළිය - ගම නගරය යා කිරීම, කොළඹ වරාය සංවර්ධනය කරමින්, හම්බන්තොට වරාය ගොඩනගමින්, වරාය නගරය ඉදි කරමින් ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ලංකාව ස්ථානගත කිරීම, ගම නැගුම, දිවි නැගුම වැනි අප රටට කදිමට ගැලපෙන සංවර්ධන ආකෘතියක් නිර්මාණය කිරීම, වී, බොහෝ ධාන්‍ය, සත්ත්ව නිෂ්පාදන ආදියෙන් ස්වයංපෝෂිත බව ළඟා කරගැනීමට දැරූ ප්‍රයත්න, ගම්බඳ පාසල්වලට තාක්ෂණාගාර ලබාදීම හා රටට තාක්ෂණ විෂය ධාරාව ලබාදීම.... රාජ්‍ය සේවය හා රාජ්‍ය ආයතන රැකගැනීමෙන් කළ සේවය - එදා රටට බරක් ලෙස බොහෝ අය දුටු ශ්‍රීලන්කන් ගුවන් සේවය රැකගැනීම, මත්තල ගුවන් තොටුපොළ ආදිය පවා නව කොරෝනා වසංගතය හමුවේ රටට කෙතරම් නම් ප්‍රයෝජනවත් වුණා ද?

හුදී ජන කැරැල්ලෙහි නායකයා

එතුමාගේ පාලන සමයේ සිදුවූ යම් යම් අඩුපාඩුද යොදාගනිමින් සිදු කළ දැවැන්ත විජාතික කුමන්ත්‍රණය හමුවේ 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද ජනාධිපතිතුමන් පරාජය වීමත් සමගින් යළිත් අපි මෙරට ඉතිහාසයේ අඳුරුතම කාලයක් උදාවිය. ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන්ගෙන් ඉටු කරගත නොහැකි වූ ඉලක්ක ව්‍යවස්ථා බෙදුම්වාදීන් මගින් ඉටුකර ගැනීමට තැත් දැරිනි. රට කැබිලි කරනු වස් පාර්ලිමේන්තුවෙහි ව්‍යවස්ථා බෝම්බ ඇටවිණි. ආරක්ෂක හමුදාත් රටේ ආරක්ෂාවත් අනතුරට පත්විය. ආර්ථිකය හා රාජ්‍ය සම්පත් කොල්ලකන ලද්දේ ආක්‍රමණික චෝල, පෘතුගීසි හමුදා සිහිපත් කරමින්ය. විදේශීය ගිවිසුම් හා වෙළෙඳ ගිවිසුම් මඟින් රටේ ස්වෛරීත්වය මුළුමනින්ම පාවා දෙමින් තිබිණි. මේ අඳුරුතම මොහොත මෙරට ඉතිහාසයෙහි ලියැවෙන සොඳුරුතම කැරැල්ලක ආරම්භයද සනිටුහන් කළේය. හුදී ජනයා දසදහස් ගණනින් සිය ආදරණීය නායකයා සොයා යන්නට විය. රට පුරා භික්ෂූන් වහන්සේලා රටත් නායකයාත් රැකගැනීමට පෙරමුණ ගත්හ. ජාතික සංවිධාන, වෘත්තීය සංවිධාන තම ඓතිහාසික වගකීම ඉටු කරන්නට විය. ජාතිකත්වය, අපේ උරුමය, සභ්‍යත්වය ගැන නව කථිකාවන් බිහි විය. මේ හුදීජන කැරැල්ලට මහින්ද රාජපක්ෂ ජන නායකයා දුන් නායකත්වය සුවිශේෂීය. තමාට යළි රාජ්‍ය නායකයා වීමේ ඉඩප්‍රස්ථා අවම බව දැන දැන ම එතුමා ඒ කැරැල්ලට නායකත්වය දුන්නේය. එහි දී ඇටවුණු ව්‍යවස්ථා උගුල් හමුවේ එතුමා තමාට වාසිසහගතද, නැද්ද යන්න වෙනුවට රටට වැඩදායිද යන්නම සලකා බැලුවේය. අවසානයේ රටේ ඉරණම විසඳන මහා සංග්‍රාමය ජනාධිපතිවරණය වූ විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට මුළුමනින් ම කැපවී, රටම දිනෙව්වේ ය.

කූටප්‍රාප්තිය

දුර්දාන්ත එ.ජා.ප. පාලනයෙන් රට මුදවාගත් නායකයකුට, ලොව බිහිසුණුම ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කර මවුබිමට විජයග්‍රහණය ලබාදුන් නායකයකුට, ලොව බලවත් රටවල අනුග්‍රහයෙන් කෙරුණු විදේශීය කුමන්ත්‍රණයක් හුදීජන කැරැල්ලක් මඟින් පරාජය කළ ජන නායකයකුට මවුබිම වෙනුවෙන් කළ හැකි තවත් මෙහෙවරක් තිබිය හැකිද? තිබේ යනු අපේ අදහසයි. ඒ අන් කිසිවක් නොව සන්නද්ධ ත්‍රස්තවාදය අවියක් කර ගනිමින් හා විජාතික බලපෑම්, කුමන්ත්‍රණ මඟින් අටවා ඇති ව්‍යවස්ථා බෝම්බ නිෂ්ක්‍රිය කිරීමයි. එදා ඔබතුමාගේ නායකත්වයෙන් හා ගෝඨාභය ආරක්ෂක ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් අපගේ රණවිරුවන් ලබාදුන් විජයග්‍රණයට ගැලපෙන්නා වූ ශක්තිසම්පන්න රාජ්‍යයක් මේ පොළොවෙහි ස්ථාපනය කෙරෙන නව ව්‍යවස්ථාවක් එළඹෙන පාර්ලිමේන්තුවෙන් සම්මත කරදීම සඳහා නායකත්වය දීමයි. කප්පන් දේශපාලනය සදහටම පිටුදකින, සැබෑ මහජන නියෝජනයක් තහවුරු කෙරෙන මැතිවරණ ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක් ස්ථාපිත කරදීමයි. ඉදිරි මහා මැතිවරණයෙන් එවන් ව්‍යවස්ථාවක් උදෙසා මහා සම්මතයක් ගොඩ නැගීමට නායකත්වය දීමයි. අප රට අපට උරුම සභ්‍යත්වය කරා ගෙන යෑමෙහි පදනම වන්නා වූ එවන් ව්‍යවස්ථාවක්, බෙදුම්වාදී අණවින සදහටම දුරින්දුරු කරන්නා වූ එවන් ව්‍යවස්ථාවක් මවුබිමට උරුම කරදීම මහින්ද මෙහෙවරෙහි කූටප්‍රාප්තිය වනු ඇත. මහින්ද ජන නායකයාණෙනි, චිරං ජයතු!

-ගෙවිඳු කුමාරතුංග

[මේ  ලේඛකයා පළමු වරට මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසෙන්නේ "කාලය" සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීමට 1989 පෙබරවාරි මාසයේ නුගේගොඩ, මිරිහානේ එතුමා ගේ නිවසේ දී ය. එ තුමා නායකත්වය දුන් පාද යාත්රාවට චින්තන පර්ශදයෙහි අත් පත්රිකාවක් බෙදමින් සහභාගී විය. පසු කලෙක මහින්ද ජනාධිපතිතුමා නායකත්වය දුන් ත්රස්තවාදය පරාජය කරලීමේ ක්රියාවලියට අවශ්ය මතවාද මූලිකව ම නිර්මාණය කෙරුණේ චින්තන පර්ෂදයෙන් ප්රකාශයට පත් කළ ආචර්ය නලින් ද සිල්වා සංස්කරණය කළ 'කාලය' සඟරාවෙන් බව පොදුවේ පිළිගැනේ.
2015 දී විජාතික කුමන්ත්රණයකින් මහින්ද ජනාධිපතිතුමා පරාජයට පත් කෙරුණු විට මේ ලේඛකයා යුතුකම සංවිධානය ගොඩ නඟමින් ඊට එරෙහි ව මැදිහත් විය.]

අරුණ[2020-06-08]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions