3/12/2019

ගින්නෙන් උපන් සීතල තුළින් මට පෙනෙන අනාගත සිහිනය

කතෘ:යුතුකම     3/12/2019   No comments

ගින්නෙන් උපන් සීතල තුළින් මට පෙනෙන අනාගත සිහිනය
-
ඉසුරු ප්‍රසංග -
යම් කලා කෘතියක් රස විඳීමෙන් පසු දින ගණනාවක් යන තුරු ඒ කෘතියේ සිදුවීම් අතර අප ඉබේම මානසිකව රස්තියාදු වන්නේ නම්, ඒ කෘතියේ චරිතවල හැසිරීම් ආදිය අපේ හැසිරීම් වෙත ඉබේම ආදේශ වී ඇති බවක් දැනෙන්නේ නම්, කෘතියට අදාළ යුගය, පරිසරය තුළ අප නැවත ජීවත් වන බවක් හැඟෙන්නේ නම්, ඒ කෘතියේ ප්‍රබලත්වයට ඊට වඩා හොඳ විචාර නිරූපනයක් තවත් නැතැයි සිතමි. තර්කානුසාරයෙන් ඇන පෙන්වා දිය හැකි යම් යම් අඩුපාඩු තිබුණද ගින්නෙන් උපන් සීතල නැරඹීමෙන් ඉහත කී ආකාරයේ භාවමය වියවුලකට මැදිවීමට මට සිදුවිය. එය එහි නිරූපිත දේශපාලන සිදුවීම් සමුදාය සමඟ ඇති තර්කයේ බලය අභිභවා යන හෘදය සංවේදී බැඳීමක පලයක් විය හැකිය. අසූ නමයේ මර්දනයෙන් වසර හතකට පසු එම පක්ෂයට සම්බන්ධව 2008 දක්වා වසර දොළහක් එහි ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිටි මට ගින්නෙන් උපන් සීතල දැනෙන ආකාරය එබඳුය. එවැනි පුද්ගල බද්ධ අත්දැකීම් තිබුණද නැතිවුවද, හද පාරවා නොගෙන මේ චිත්‍රපටය නැරඹීමට බොහෝ දෙනා අසමත් වූ බවට ඒ පිළිබඳ ලියවෙන සටහන් ආදිය නොමඳව දෙස්දෙයි. වාණිජ අරමුණක අහලකටවත් යා නොහැකි ඊනියා වාණිජ චිත්‍රපට, රැල්ලේ දිවෙන බාල ඉතිහාස කතා සහ බෙලහීනයන්ගේ සමාජ වෛරය පමණක් පිළිබිඹු වන ඊනියා ජාත්‍යන්තරවාදී සිනමා වසංගතය අතර මරණාසන්න වී සිටින සිංහල සිනමාවට මෙවැනි චිත්‍රපට නැවුම් හුස්ම පොදක් බඳුය. හුදු චිත්‍රපට විචාරයකට වඩා චිත්‍රපටය පිළිබඳ දේශපාලන විවරණයක් ලෙස සැලකිය හැකි මේ සටහන ලිවීමට මා පොළඹවන ලද්දේ ඒ නැවුම් හුස්මේ නොමඳ ආස්වාදය විසිනි.

> ඉතිහාස නිරූපණයේ අභියෝගය

මේ චිත්‍රපටය හදවතට කොතෙක් සංවේදී එකක් වුවද විචාර ඇසකින් ඒ දෙස බැලීමේදී මම ඒ තුළ දකින බලවත් අඩුපාඩුවක් තිබෙයි. එනම් අදාළ යුගයේ දේශපාලනය ගැඹුරින් පිළිබිඹු කිරීමට එය සමත් නොවීමය. ඒ යුගය සහ අදාළ චරිත ගැන හොඳාකාරවම දන්නා අය තුළ සංවේදී හැඟීම් දැනවිය හැකි ආකාරයේ කලාත්මක සමත්කම් සහිතව චිත්‍රපටය නිමැවීමට අධ්‍යක්ෂවරයා සමත්ව තිබුණද, ඉතිහාස ප්‍රතිනිර්මාණය අතින් එය ගමන් කර ඇත්තේ අල්ප දුරකි. අදාළ යුග වකවානුව පිළිබඳ පූර්ව අවබෝධයකින් තොර විදේශිකයෙක් මේ චිත්‍රපටය නැරඹුවහොත්, ඔහුට අදාළ යුගයේ ලංකාව පිළිබඳ දළ අදහසක් මේ තුළින් ලබා ගත හැකිද? අඩුම තරමේ එදා මහා මිනිස් සංහාරයක් රටේ සිදුවූ බව හෝ චිත්‍රපටය තුළින් හරියාකාරව ප්‍රකාශ නොවේ. ඒ භීම සමය පිළිබඳ ප්‍රකටම සංකේතීය රූපය වූ ටයර් සෑ සංස්කෘතිය පමණක් නොව, 70 දශකයෙන් පසු රට මහා භීෂණයකට ඇද දැමීමට හේතුවූ එජාපයේ දුර්දාන්ත පාලනයද මේ චිත්‍රපටයට අවිෂය වී තිබේ. විජේවීර මේ චිත්‍රපටය තුළ අපට පෙනෙන්නේ විප්ලවකාරී නායකයකුට වඩා ගෙදරට වී සුවසේ ජීවත් වන දරු පවුල් කාරයෙකු වශයෙනි. ඔහු කරන එකම දේශපාලන කටයුත්ත දේශපාලන මණ්ඩලයේ හත් අට දෙනා සමඟ එක්වී ප්ලේන්ටි බොමින් සුවපහසු කතාබහක නිරත වීමය. ඔවුන්ගේ කතාබහ තුළින්වත් එදා රටේ පැවති මහා ඛේදවාචකයේ දිග පළල හෝ ඒ පිළිබඳ කම්පනයක් අපට නොපෙනෙයි.
සාහිත්‍ය කෘතියකදී මෙන් ඓතිහාසික කාරණා සම්භාරයක් ගැඹුරින් සවිස්තරාත්මකව අනාවරණය කිරීම සිනමා කෘතියකදී කළ නොහැක්කකි. එහෙත් සිනමා මාධ්‍යයේ සීමා මායිම් මැද වුවද, ඉතිහාසයට නිසි සාධාරණයක් ඉටු කිරීම කළ යුතුය. සැබෑ දේශපාලන සිදුවීම් පසුබිම් කරගත් චිත්‍රපට ඒ අභියෝගය ජය ගත් අවස්ථා බොහොමයක් ලෝක සිනමාව තුළ අපට හමුවෙයි. මොන අඩුලුහුඩුකම් මැද වුවද බොහෝ දෙනාට අමතකව යමින් තිබූ අසූව දශකයේ දේශපාලන මතකයට නව පණක් දීමට මේ චිත්‍රපටය සමත්ව තිබේ. දරුණු වධ බන්ධන හමුවේ පවා කිසිවක් හෙළිදරව් නොකර මිය ගිය සුමිත් අතුකෝරාළ, ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි ප්‍රනාන්දු, උපතිස්ස ගමනායක වැනි විප්ලවවාදීන් ගණනාවකගේ හෘදයාංගම බව මේ සිනමා නිර්මාණය තුළ අපට මුණගැසෙයි. තවද මේ චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ඩී.එම්. ආනන්ද හා එච්.බී. හේරත් වැනි අය විජේවීර පාවා දුන්නේය යන ප්‍රකට අදහස සැබෑවක් යැයි හැගෙන අයුරිනි. එයද ගැටලු සහගතය. ජවිපෙ දෙවැනි කැරැල්ල ගැන ඉතා ගැඹුරු අධ්‍යයනයක් සිදුකර ඇති මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න පවසන ආකාරයට මේ පාවාදීමේ කතාවද එලෙසින්ම පිළිගත නොහැක්කකි.

> එදා ජවිපෙ සහ අද ජවිපෙ

ගින්නෙන් උපන් සීතල ඔස්සේ අපට පෙනෙන ජනතා විමුක්ති පෙරමුණ කුමක් වුවද එය අයත් වන්නේ අතීතයටය. අනුර කුමාරගේ වත්මන් ජවිපෙ දැක්ම හා ක්‍රියාකාරීත්වය විජේවීරගේ ජවිපෙ දැක්මට හා ක්‍රියාකාරීත්වයට සපුරා පටහැනිය. මා එසේ පවසන්නේ අසූනමයේ පරම්පරාවේ ඝාතකයන් රජ කරවීම සඳහා වර්තමාන ජවිපෙ දරන අපමණ වෙහෙස වැනි සරල කරුණු පමණක් සලකා බලමින් නොවේ. දේශපාලනයේ දී සදාතනික මිතුරන් සතුරන් නැති හෙයින් පවතින තත්ත්වය යටතේ එවැනි දෑ කිරීමට සිදුවෙතැයි සිතමු. එහෙත් සදාතනික සතුරුකම් අමතක කළ යුත්තේ එයින් තම ව්‍යාපාරයට මෙන්ම රටටද අත්වන යහපතක් තිබේ නම් පමණි. එහෙත් වත්මන් ජවිපෙ එජාප සංහිඳියාව තුළින් එම පක්ෂයට හෝ රටට සිදුවූ යහපත කුමක්ද? කෙසේ වුවද පසුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ ජවිපෙ හැසිරෙමින් සිටිනුයේ එජාපයේ දේශපාලන වුවමනා නොමඳව තෘප්ත වන පරිද්දෙනි. එය දශකයක් තිස්සේ ඔවුන් ගත් දේශපාලන ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ ඇසුරෙන් මනාව පැහැදිලි වන්නකි. එතැනින් නොනැවතී අද රනිල්ටත් වඩා හොඳින්, දූෂණ විරෝධී වෙස් මුහුණක්ද සහිතව රනිල්ගේ දෘෂ්ටිවාදය නඩත්තු කරමින් සිටින්නේ වත්මන් ජවිපෙ විසිනි. සිංහලයා තුළ පමණක් ඊනියා ජාතිවාදයක්, ගෝත්‍රවාදයක් දකිමින් රටේ ක්‍රියාත්මක සැබෑ ජාතිවාදී බෙදුම්වාදී කල්ලි සමඟ එක පතේ වැළඳීමට අද ඔවුන්ට සිදුව ඇත්තේ ඒ අනුවය. විජේවීර සිංහල බෞද්ධ ජාතිකවාදයේ අවතාරයක් බව කියන, විජේවීර මළකුණ වළදැමීමෙන් තොරව ජවිපෙට අනාගතයක් නැති බව කියන විකල්ප ගෝත්‍ර බමුණන් වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ විද්වත් පෙරමුණුවල වීරයන් බවට පත්ව ඇත්තේ ඒ අනුවය. වත්මන් ජවිපෙ මේ දීන පිළිවෙත පිළිබඳ අත් කැඩෙන තුරු ලියා ඇති කාරණා මේ ලිපිය තුළද නැවත දිග හැරීමට මගේ කැමැත්තක් නැත. සැකෙවින් හෝ ඒ ගැන සිහිපත් කළ යුතු වූයේ ගින්නෙන් උපන් සීතල බලා 2020 දී රටේ ජනතාව ජවිපෙට රට බාර දෙනු ඇතැයි සිතන බාලයන් වත්මන් ජවිපෙ සාමාජිකයන් අතර දුලබ නොවන නිසාවෙනි.

> අසූනමයේ පරම්පරාව සහ අනාගතය

කිසිදු දේශපාලන ව්‍යාපාරයකට සියලු දෙනා එකසේ සතුටු වන ආකාරයේ භූමිකාවක් රඟදැක්වීමට ඉතිහාසය ඉඩ නොතබයි. ඒ අර්ථයෙන් මතුවන සීමා මායිම්, වරද්දා ගැනීම් මැද වුවද අසූනමයේ පරම්පරාව තමන් ජීවත් වූ යුගයට, එදා පැවති තත්ත්වයන්ට සාපේක්ෂව ඉදිරිගාමී දේශපාලන ප්‍රවාහයක කොටස්කරුවෝ නොවූයේ යැයි කිව හැකිද? ඔවුන් ජීවත් වූයේ සහ දේශපාලනිකව පෝෂණය වූයේ සමාජවාදය ලෝක ගෝලයේ තුනෙන් එකකට වැඩි ඉඩක් ජයග්‍රාහීව අත්පත් කරගෙන තිබූ කාල වකවානුවකය. ධනවාදයට එරෙහි සන්නද්ධ අරගල ලෝකය පුරා පැන නැඟුණු ඓතිහාසික පසුබිමකය. සමාජවාදයේ ප්‍රබලතා මිස දුබලතා ගැඹුරින් වටහා ගැනීමට ඔවුන්ට මේ පරිසරය ඉඩකඩක් සපයා දුන්නේ නැත. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ තමන් දුටු ඒ සාධාරණ යුක්ති ගරුක සමාජය ලක් පොළොව මතද යථාර්ථයක් වනු දැකීමය. නමුත් ඒ වෙනුවෙන් යහපත් මාවතක් ඔස්සේ පෙරට යාමට ඔවුන්ට නොහැකි වූයේ එජාපය විසින් කෙටි කලක් තුළ මුළු රටම ගිනි තබමින් ගෙන ගිය විනාශකාරී වැඩපිළිවෙළ නිසාය. ඒ තුච්ඡ රාජ්‍ය දුරාචාරය හමුවේ පසුබා නිහඬ වීම වෙනුවට ඊට එරෙහිව සටන් වැදීමේ මාවත අසූනමයේ පරම්පරාව නොබියව තෝරාගත්තෝය. අවසානයේදී ඒ සටන ඛේදවාචකයකින් කෙළවර වුවද, ඔවුහු යහපත් පොදු අරමුණක් වෙනුවෙන් මිස තමන්ගේ දෙයක් වෙනුවෙන් සටන් වැදුනවුන් නොවූහ. ආයුධ ඇතැතිව කරන අවලස්සන දේශපාලනයක් තෝරා ගැනීමට සිදුවුවද ඔවුහු පොදු සමාජය පිළිබඳ යහපත් සිහින දුටු, දැන උගත් සබුද්ධික පිරිසක් මිස අපරාධකරුවෝ නොවූහ.
අද වන විට අසූනමයේ පරම්පරාව රුදුරු මරණයකට ගොදුරුව දශක තුනක් ගතවී හමාරය. එවැනි පරහිතකාමීන් වෙනුවට ඇවිදින පිස්සන් කොටු බඳු විගඩම්කාර තක්කඩි රැළක් කාලයක් තිස්සේ මේ රට පාලනය කරමින් සිටිති. මෙරට දේශපාලනයේ මහා පොදු ජරාජීර්ණ බවට අලි, බුලත් කොළ, අත්, පොහොට්ටු ආදී බේද තීරණාත්මක ලෙස අදාළ නැත. වත්මන් ජවිපෙ පිළිවෙත වී ඇත්තේද ඊනියා දූෂණ විරෝධී වෙස්මුහුණ ගණිකා වෘත්තියේ යොදවමින් මේ දූෂිත දේශපාලනයේ වඩා නරකම හා විනාශකාරීම පිළ ආරක්ෂා කිරීමය. අසූනමයේ පරම්පරාව වෙඩි කා නැසුණු අතර එහි වත්මන් පරම්පරාව විහින් වස කා මංමුලාවී සිටිති. මේ තත්ත්වය තුළ හෘද සාක්ෂියක් ඇති සියල්ලෝ අසරණ අනාථයන් බවට පත්ව ඇත. අද මේ ලිපිය ලියන මට පවා සිදුව ඇත්තේ සාපේක්ෂ යහපත ගැන සිතමින්, අඩු නපුර ගැන සිතමින්, මේ බොරුකාර විගඩමුන්ගේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමටය. එය අද අප සියලු දෙනාට මුහුණ දීමට සිදුව ඇති දේශපාලන නන්න්තතාරභාවයේ කටුක ස්වභාවයයි. මේ ඛේදවාචකය වෙනස් කළ හැක්කේ 2020දී ගෝඨාභය බලයට ගෙන ඒමෙන් නොව මේ රටට ගැළපෙන දේශපාලන විකල්පය සොයා ගැනීමෙනි. එවැනි විකල්පයක් නැති තැන ගෝඨාභය වැනි කාලීන හා සාපේක්ෂ තීන්දු වෙනුවෙන් පෙනී සිටීමට මමද නියෝජනය කරන ජාතිකවාදී කඳවුරේ බොහෝ දෙනාට සිදුව තිබුණද, එයින් රටේ කිසියම් වෙනසක් මිස තීරණාත්මක වෙනසක් සිදුවේ යැයි මට නම් කිසිදු පැහැදිලි විශ්වාසයක් නැත.

> අලුත් සිහිනයක්....

අද අපට අවශ්‍ය වන්නේ අසූනමයේ පරම්පරාව තුළ තිබූ පරහිතකාමී සත් චේතනා නූතන යුගයට ගැළපෙන ප්‍රායෝගික දැක්මක් හා මුසු කළ හැකි සමාජ ව්‍යාපාරයකි. හුදු මාක්ස්වාදී මූලධර්ම හෝ සම්ප්‍රදායික වාම මනසක් සහිත ව්‍යාපාරයකට මේ රටේ අනාගතය වෙනුවෙන් කළ හැකි කිසිදු කාර්යය භාරයක් නැත. රතු සිහිනය යහපත් එකක් වුවද ඒ සිහිනය අයත් වන්නේ අතීතයටය. නමුත් අනාගතය නිර්මාණය වනුයේ ඊට වඩා වෙනස් සිද්ධාන්ත මතය. පේමතෝ ජායතී අසෝකෝ නවකතාවේ එන පෙරටු රළ නමැති කල්පිත දේශපාලන ව්‍යාපාරය තුළින් මා ඉදිරිපත් කිරීමට උත්සාහ ගත්තේද මේ රට වෙනස් කළ හැකි එවැනි ප්‍රායෝගික ව්‍යාපාරයක හැඩ රුව පිළිබඳ සුබ සිහින මාත්‍රයක් පමණි. අද ගින්නෙන් උපන් සීතල සමඟම නිරායාසයෙන් කරළියට ආ විජේවීරගේ පුත්‍රයා තුළ එවැනි ව්‍යාපාරයක් බිහිකිරීමට අවශ්‍ය මතවාදීමය පුළුල් බවක සිහින් සේයාවක් මට පෙනීමද නවකතාවකට ගැළපෙන තරමේ සුන්දර අහම්බයකි.
රෝහණ විජේවීර වැනි ප්‍රායෝගික දැක්මත් හා ක්‍රියාකාරී ශක්‍යතාවක් තිබූ නායකයෙක් අද දක්වා ජීවත්ව සිටියේ නම් නූතන ලෝක සත්‍යයන්ට ගැළපෙන ලෙස තම පක්ෂය හා මතවාද යාවත්කාලීන කරනු ඇත. එහෙත් වත්මන් ජනතා විමුක්ති පෙරමුණට එවැනි ඓතිහාසික කාර්යය භාරයක් කිරීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් නැත. එයින් බිඳීගිය කණ්ඩායම්ද එසේමය. විමල් වීරවංශගේ “රටට වුවමනා වම” වැනි කෘතියක් තුළ එවැනි වෙනසකට අදාළ තියුණු මතවාදීමය අන්තර්ගතයක් හමුවුවද, ඊට සරිලන ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් ඔහුගේ දේශපාලන පක්ෂය තුළද දක්නට නැත. එහෙයින් අද අවශ්‍ය වන්නේ එදා විජේවීර 1965දී පය තැබූ ආකාරයේ වෙනස්ම ආරම්භයකි. එය ඉතා දුරස්ථ සිහිනයක් සේ පෙනුනද එවැනි ව්‍යාපාරයකට වසර කීපයක් තුළ මේ රට වෙනස් කළ හැකිය. මජර දේශපාලනය නිසා විහින් පිස්සන් කොටුවක් බවට පත්වී තිබුණද සංවර්ධන විභවයන් ගණනාවක් ස්වභාවයෙන්ම දායාද කරගත් ලංකාව ගොඩනැගීම අන් කවර රටක් ගොඩනගනවාටත් වඩා පහසුවෙන් කළ හැක්කකි. අසූනමයේ පරම්පරාව පිළිබඳ වේදනා දෙන හෘදය සංවේදී මතකය යහපත් අනාගත ආයෝජනයක් බවට පත් කර ගත හැක්කේ එසේය. ගින්නෙන් උපන් සීතල තුළින් මට පෙනෙන අනාගත සිහිනය එවැන්නකි.

ඉසුරු ප්‍රසංග
2019 මාර්තු 3 ඉරිදා මව්බි

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions