1/05/2013

ඉල් මහේ යුතුකම……..

කතෘ:යුතුකම     1/05/2013   1 comment


13, නිදහසින් පසු ශ්‍රී ලාංකීය දේශපාලනයේ වැදගත්ම සහ භයානකම ඉලක්කම යැයි සිතීම අසාධාරණ නොවේ.රටේ ඒකීය භාවය අවසන් ගමන් යවමින් බිහිවූ 13 වන ව්‍යවස්ථවත් ,ඒ 13 ට එරෙහිව සටන් කර ඒ වෙනුවෙන් ජීවිත දහස් ගනනකුත් සුවිශෙෂී දේශපාලන චරිතයක් වූ රෝහන විජේවීරත් ඝාතනය කලේ අද වැනි 13 වනදා දිනයකත් වීම මත 13 ගැන කතා කිරීමට අද හොඳම දිනයක් යැයි සිතේ.

පළාත් සභා පිළිබඳ කතා බහ අද මෙරට දේශපාලන ලෝකයේ මග හැර යා නොහැකි ප්‍රමුඛම මාතෘකාව බවට පත් වී හමාරය. සමහරෙක් එය අයවැය උණුසුම යන තෙක් පොදුජන අවධානය වෙනතකට යොමුකර ගැනීමට ආණ්ඩුව විසින්ම දැමූ කෙමනක් යැයි පැවසුවත් එම ප්‍රකාශයේ ඇත්තේ ඉතා සරල මතු පිටින් පමණක් අතගා බලා එලඹි දේශපාලන ලෙස ඉතාමත් ප්‍රාථමික සිතුවිල්ලක් පමණි. සමාජය කෙරෙහි සංවේදී කිසිවෙකුටත් අද දවසේ මෙය මගහැර වෙනත් කුඩා කුඩා ජනප්‍රිය මාතෘකාවල එල්ලී එදා වේල ගැටගසා ගැනීමට යුතුකමක් නැත.
1978  ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන එමීන් 1987 ජූලි මස 29 එකතු වූ 13 වන ව්‍යවස්ථා සංශෝදනයට එරෙහිව උපන් ගෙයි විරෝධය පාමින් එවකට ජයවර්ධන රජයේම කෘෂිකර්ම ඇමැති ගාමණී ජයසූරිය ආණ්ඩුවෙන් ඉවත් වූ අතර අගමැති ප්‍රේමදාස මෙන්ම ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ද මේ සඳහා විරෝධය දැක්වීය.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණද මේ සඳහා සුජු විරෝධයක් දැක්වීය. එවකට එජාප මන්ත්‍රීවරයකු වූ වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාද පළාත් සභාවලට විරුද්ධව එකල ප්‍රබලව  පෙනී  සිටි  බව  සිහි  කල  යුතුය. එදා පලාත් සභාවලට එරෙහිව පිටකොටුව බෝ ගස ඉදිරිපිට උපවාස කල සිරිමාවෝ මැතිනිය අසලින්ම අද ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සිටි බව සිහිකරන්නේ ඔහු 13 ට එරෙහි සටනේ ප්‍රේක්ෂකයකු  නොව සක්‍රීය කොටස්කරුවකු බව සිහිකිරීම පමණක් නොව අද  13ට එරෙහි සටනේ තීරණාත්මක කාර්‍යභාරයක්ද ඔහු අත රැඳී ඇති බැවිනි.
මේ සියල්ල අභිබවා යන විරෝධයක් එවකට පලකල සුවිශේෂී ව්‍යාපාරය වූයේ ජනතා විමුක්ති පෙරමුණයි . අප මේ මොහොතේ එය සුවිසේෂී ලෙස මතුකරන්නේ පූර්ණ ලෙස එරෙහි  වෙමින් පලාත් සභා සඳහා ජීවිත පූජාවෙන් කටයුතු කල එහි සාමාජිකයන් දහස් ගණනක් සහ එහි නිර්මාණශීලී නායකත්වය අමු අමුවේ ඝාතනය කර 23  වන වසර සමරමින් ‘ඉල් මහ විරු සමරුව’ අදට යෙදී ඇති බැවිනි. නිවරදි ලෙස පවසන්නේ නම් ජවිපෙ තම සදාදරණී යනායකත්වය සහ පක්ෂ කේඩරයෙන් සාතිශය බහුතරය අහිමි කර ගන්නේ ඉන්දු ලංකා ගිවිසුමට සහ එමගින් උපන් අවජාතක පළාත් සභාවලට එරෙහිව පෑ මාරාන්තික විරෝධතාවය නිසාය. එවකට ජවිපෙ ජේ ආර් ගේ දඬු අඬුවට හසුව තහනම් පක්ෂ ලැයිස්තුවට අන්තර්ගත වී තිබිණ.
ගිවිසුමට සම්පූර්ණ විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ සහ එහි අනුබද්ධ පෙරමුණ වූ මව්බිම සුරැකීමේ පෙරමුණ දැඩි මතයක සිටියේය. කීර්ති විඡේබාහුගේ අණ දීම යටතේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහාද ක්‍රියාත්මක වූයේ ජනතා විමුක්ති පෙරමුණම බව ප්‍රකට රහසකි. කීර්ති විජයභාහු යනු ජ.වි.පෙ.  දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු වූ සමන් පියසිරි ප්‍රනාන්දු බව පසුව  අනාවරණය විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හෝ මව්බිම සුරැකීමේ ව්‍යාපාරය හරහා සිදු වූ සියලු ක්‍රියාකාරකම් අනුමත නොකලද පළාත් සභාවලට එරෙහිව ඔවුන් දැක්වූ මාරාන්තික විරෝධතාවය එවකට ඔවුන් අතින් ඉටුවිය යුතු අත්‍යවශ්‍ය සමාජවගකීමක් ලෙස අප වටහා ගත යුතුය. ඔවුන් විරෝදය දැක් වු ප්‍රායෝගික භාවිතයේදී යම් කටුක වූ අමිහිරි අත්දැකීම්වලට ඉඩ ප්‍රස්ථාව සැලසුනත් එහිදී ඔවුන් දැරූ සෘජු දේශපාලන ප්‍රත්පත්තිය හා ඒ වෙනුවෙන් පෙනී සිටි අධිෂ්ඨානශීලි බව කුහක නොවී නිසි බර යොදා අගය කළ යුතුය.

බලය  බෙදීම සහ දෙමල කොටි අරගලයට දැක්විය යුතු දේශපාලන ප්‍රතිචාරය කුමක්ද යන්න ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ අභ්‍යන්තරයේ සාකච්චාවට ලක් වී තිබූ 1985 පමණ කාලයේදී එවකට එහි ප්‍රධාන ලේකම් වූ ලයනල් බෝපගේ ඒ පිළිබඳ සුවිශේෂී මතයක් දැරීය.  ඔහුගේ මතය වූයේ කොටි සංවිධානය අනුගමනය කරන ක්‍රියාමාර්ග පිලිබඳ විවේචනයක් තිබුනත් ඔවුන් ගෙන යන අරගලය සාධාරණ බවත් ජවිපෙ එයට සහයෝගය පල කල යුතු බවත්ය. ඔවුන් ඒ වන විට ත්‍රස්‌තවාදීන් ලෙස කටයුතු කළත් ඔවුන් ප්‍රගතිශීලීන් ලෙස කටයුතු කරන්නේ නම් ඔවුන් සමඟ ජවිපෙ සබඳතා ඇති කර ගෙන කටයුතු කළ යුතු බවයි.
මෙයට න්‍යායාත්මක   පිළිතුරක් සැපයූ රෝහන විජේවීර ජාතීන්ට ස්වයං තීරන  අයිතිය ලබාදීම පිලිබඳ තමන්ද කලකට පෙර දැරූ සාම්ප්‍රදායක  මාක්ස්වාදී මතයද අභියෝගයට ලක් කරමින්  ”දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද?” මැයෙන් පිටු  350  කකෘතියක් සපයමින් දෙමළ ජාතිවාදය සැනසීම සඳහා බෙදුමවාදය විසඳුමක් නොවන බව පක්ෂය තුල සූත්‍රගත කලේය. අනෙකුත් පොතේගුරු මාක්ස්වාදීන්ට වඩා වෙනස්ව සිතමින් දෙමළ ජාතිවාදයට ඊළාම්වාදයට එරෙහිවීම සඳහා ජවිපෙට නිවරදිව  මඟපෙන්වූයේ මෙම පොතය.  එතැන් පටන් උතුරේ ගැටුම අරභයා ජවිපෙ දැක්ම මේ සූත්‍රය මත තීරණය විය.
කෙසේ නමුත් අතීත කතාව මෙසේ වුවත් ජවිපෙද විටින් විට අමු මාක්ස්වාදය දෙසටත් විටෙක ජාතිකවාදී භාවිතවක් දෙසටත් දෝලනය වීම  80  දශකයෙන් පසු නිරීක්ෂනය කල හැකි සුවිශේෂී ලක්ෂණයකි . 2002 එජාප රනිල් වික්‍රමසිංහගේ ද්‍රෝහී පාවාදීමට එරෙහිව නිවරදිව ජාතිකවාදී මතයක සිටිමින් එරෙහි වූ ජවිපෙ 2005 වන තෙක්ම ඉතා ප්‍රශස්ථ ලෙස අගය කිරීමට ලක් විය යුතු භූමිකාවකට පන දුන් බව එහි විරුද්ධවාදීන් පවා පිළිගන්නා සත්‍යකි. නමුත්  මෑතකදී කුමාර් ගුණරත්නම් ගේ බෙදී යාමේදී ඔවුන්ගේ ප්‍රධාන තර්කය වූයේ ‘දෙමළ විමුක්ති අරගලය ‘  මරදනය කිරීම වෙනුවෙන් ජවිපෙ සහයෝගය දීම වරදක් බවය. 2006 න් පසු කොටි ත්‍රස්තවාදය පරදවන සටනට කකුලෙන් අදින ස්වභාවයකට පක්ෂය පත් වූයේ කුමාර් පාර්ශවය ජවිපෙ තුල බල පැවැත්වූ බලය නිසාය යන්න සාධාරණ නිගමනයකි . කෙසේ වෙතත් කුමාර් පාර්ශවය ඉදිරිපත් කල මතය  85  කාලයේ පමණ රෝහණ විජේවීර විසින් තීරණාත්මකව පරාජය කල ලයනල් බෝපගේ ගේ මතයම විය.(ලයනල් බෝපගේලාගේ සහයද අද වන විට කුමාර් ගුණරත්නම්ලාගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙත ලැබීමෙන් එය වඩා තහවුරු වේ )

අවාසනාවට කරුන නම් අද වන විටද ජවිපෙ සෝමවංශ පාර්ශවයද සටන් කරමින් සිටිනුයේ වඩා හොඳ විජේවීර කෙනෙකු වීමට වඩා ,වඩා හොඳ කුමාර් කෙනෙකු වීමටය .  එනම් ලයනල් බෝපගේලා ගේ මතයට සමගාමී වීමටය . ජාතිකවාදී භාවිතය ඔවුන් අත්හරින්නේ එබැවිනි.  අමු මාක්ස්වාදය ආදේශවන්නේ එවිටයි. රෝහණ විජේවීර පොතේ ගුරු අමු මාක්ස්වාදියෙක් වූයේ නම් “දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද?”   වැනි පොතක් ඔහු අතින් නොලියවෙනු ඇති . බොහෝ  දෙනා  රෝහණ විජේවීර යනු පශ්වාත් අධිරාජ්‍ය යුගයේ බිහිවූ සුවිශේෂී දේශපාලන උපක්‍රම තෝරන න්‍යායාචාර්වරයා ලෙස හඳුන්වන්නේ එබැවිනි.
එක්සත් ජාතික පක්ෂ මිනීමරු පාලකයන් ඔහු අමු අමුවේ ඝාතනය කර අදට වසර 23කි.ඉල් මහ විරු සමරුවට සැබෑ අරුතක් එක්වන්නේ පෝස්ටරයක් වැනි බාලාංශ   පන්තියේ ආකරයේ අයිතිවාසිකම්  කීමේ ගැටුම් හරහා කලකට පෙර තමන් සමගම ජීවිතය බෙදාගත් සහෝදරයන්ගේ ලේ හැලීමෙන් ලැබෙන ප්‍රාථමික ගෝත්‍රවාදී වින්දනයෙන් මිදී තම සදාදරණීය නායක රෝහණ විජේවීර ඇතුළු දහස් ගනන් සොහොයුරන් දිවිදුන් පූජනීය අරමුණට සාධාර්ණය ඉෂ්ඨ කිරීමෙන් පමණක් බව එසේ පෝස්ටර් ,ඉටිමල් ,ඉටිපන්දම් විරුසමරුවට ප්‍රමාණවත් යැයි සිතන ජවිපෙ නායකයන්ට දැන්වත් අවබෝධ විය යුතුය.  ”ඇයි 2/3ක් තියෙන්නේ ,කරගන්න බැරිය” යනුවෙන් දන් ඔවුන් ඉදිරිපත් කරන මතය හුදු සිත රවටාගැනීමකට වඩා එහා වටිනාකමක් ඇත්තක් නොවේ.මක් නිසාද යත් එසේ නම් තර්ක කරන්නේ නම් 2004 චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමතිකම් දැරූ අවධියේ ජාතික ව්‍යාපාර සමග ත්‍රස්තවාදය පැරදවීම සහ සටන් විරාමය අහෝසි කිරීම සම්බන්ධව ජනතා මතයක් ගොඩ නගන්නට ඔවුන් වීදි සටන් වලට සහභාගී වූයේ ඇයිදැයි යමෙකු ප්‍රශ්න කරන්නට ඉඩ ඇති බැවිනි..තාමාද නියෝජනය කල කැබිනට්ටුව හරහා යෝජනාවක් සම්මත කරගැනීම වෙනුවට ජනතා බලයක් ගොඩනැගීමට පාරට බැස්සේ ඇයිදැයි ඇසුවොත් අද ‘ජනතාවට කියා වැඩක් නෑ  තමුසෙලාට 2/3 න් තියෙන අහෝසි කරගන්න’ යැයි කියන මහත්වරුන් කියන්නේ කුමක්ද?

රාජපක්ෂ රජය යුද්ධය කල හැකිය කල යුතුය කරන තැනට ප්‍රබල ලෙස ඒත්තු ගැන්වූයේ ඒ ජනතා බලය මගිනි බව අමතක නොකල යුතුය. මේ මොහොතේත් එවැනි ජනතා බලයක් නිර්මාණය කිරීම හරදා කොටි පරදන සටන අවස්ථාවේ මෙන්ම මුලු ජාතියම එක් අරමුණක් වෙත යොමු කිරීම හරහා පමණි ජාත්‍යන්තර බලවේගවලින් එල්ලවන අභියෝගවලට සෘජුව පිළිතුරු දෙමින් 13 අහෝසි  කල හැක්කේ.
එබැවින් තම තමන්ගේ සිත් රවටා ගැනීම්වලින් ඔබ්බට ගොස් ,මින් තමන් නොවන අයෙකුට දේශපාලන වාසියක් ලැබේ යැයි සිතා හෝ ,’මහින්ද ආණ්ඩුව මේකත් කලොත් අපිට ඔලුව ඉස්සිල්ලක් නෑ’ යනුවෙන් සිතන පසුගාමී සිතුවිලි නිසා හෝ අමු මාක්ස්වාදය දෙසට දෙමළ ජාතිවාදීන් දක්කාගෙන ගොස් ඇති ප්‍රමාණය ආපසු හැරවීමට අපහසු යයි නොසිතා මේ අනගි අවස්ථාව පැහැර නොහැර තම සදාදරණීය නායකයා ඇතුළු දහස් ගණනක් දිවි පුදකල මාතෲ භූමිය මේ මොහොතේ ඉල්ලා සිටින ඒ වගකීම ඉටු කිරීමට විදග්ධව විසල් මනසකින් යුතුව කටයුතු කිරීම ඒ සහෝදරයන් දිවි දුන් පූජනීය අරමුණට යම් කිසි හෝ සාධාරණයක් ඉෂ්ඨ කිරීමක් වනු නිසැකය.

කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. මාක්ස්වාදයට අනුව විජේවීරගේ 'දෙමළ ඊළාම් අරගලයට අපේ විසඳුම' නිර්මාක්ස්වාදීය. යමෙක් එය මාක්ස්වාදී යැයි කියන්නේ නම් ඔහු මාක්ස්වාදය ගැන දන්නා ඉලව්වක් නැත. විජේවීර උක්ත විසඳුම රචනා කරන්නේ ඔහුගේ තිබුණු ස්වභාවික ඉව (අවශ්‍ය නම් සිංහළ බෞද්ධ ගැමි ඉව) නිසා මිස ඔහුගේ තිබුණා යැයි කියන මාක්ස්වාදී ශික්ෂණය නිසා නොවේ. විජේවීරගේ අරමුණ වූයේ මාස්ක්වාදයට නොකෙළවා ජාම බේරා ගැනිමයි. එය එසේ කිරීමට හේතුවක් තිබිණ. එනම් මාක්ස්වාදය හැලුණු පසු ජවිපෙ පෞරුෂය ගිලිහී නිරුවත් වනු ඇතැයි ඔහු තුළ තිබුණු අනියත බියයි. එවන් අනියත බියක් ඔහු ඇතුළු ජවිපෙ නායකත්වය තුළ ඇතිවන්නේම ඔවුන් තුළ තිබුණු බටහිර අධ්‍යාපනයෙන් ලද හික්මීම නිසයි. මින් ගොඩ ඒමට ඔහු දු‍ටු එකම මග මාක්ස්ව කෙසේ හෝ කපා කොටා අඹරවා ඔහු ලවා දෙමළ බෙදුම්වාදය අධිරාජ්‍ය වාදී පිල්ලියක් බව කියවා ගැනීමයි. 'දෙමළ ඊළාම්වාදී අරගලයට අපේ විසඳුම' හරහා ඔහු වදෙන් පොරෙන් කලේ එයයි.

    තම ගැමි ඉව අමතක කොට මාක්ස්වාදී පොරවල් වීමට වලි කන වත්මන් ජවිපෙට ඉල් මහ වෙනුවෙන් ඉ‍ටු කිරීමට යුතුකමක් ඉතිරි වී නැත (සෝමවංශ ෆොන්සේකාගේ වේදිකාවේදී එජාප නායකයන් පසෙකින් හිඳ කියූ වචන වලින්ම කියන්නේ නම් ජවිපෙට අතීතය කර මත තබා ගෙන යාමට උවමනාවක් නැත). ඉල් මහ වෙනුවෙන් යුතුකම් ඉ‍ටු කිරීමට ඉතිරිව ඇත්තේ අන් කවරෙකුවත් සිංහළ බෞද්ධ චින්තනයක් මත පදනම්ව දේශපාලනය කරන බලවේගයයි. ඉල්මහ වෙනුවෙන් අද කිරීමට ඇති යුතුකම අනෙකක් නොව පාංශුකූලයක් සංවිධානය කිරීමයි. එම පාංශුකූලය 13 වන ව්‍යවස්ථාවට දිය යුතු අතර ඉන් පසුව කල යුතුව ඇත්තේ එය වලලා දැමීමයි. ඉන් පසුව අවශ්‍යනම් කළ යුතු වන්නේ 13ට එරෙහි වෙමින් දිවි පිදූ විජේවීර ප්‍රමුඛ දහස් ගණනක් වූ ජවිපෙ සාමාජිකයන් වෙනුවෙන්ද මතක වස්ත්‍රයක් පූජා කිරීමයි. අවශ්‍යනම් ඉන් පසුව සාංඝීක දානයක්ද දීමයි.

    - ප්‍රභංග.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com