10/22/2015

බුදු සසුනේ පැවැත්ම උදෙසා කාලීනව ඇති විය යුතු වෙනස්කම් සහ අපගේ වගකීම් ( 4 වෙනි කොටස )

කතෘ:යුතුකම     10/22/2015   No comments
    ලංකාවේ බුදු සසුන මුහුණ දෙන ප්‍රශ්න සහ ඒවාට විසඳුම් ගැන පසුගිය ලිපිවලින් කතා කළා.එහි තවත් කොටසක් ලෙස සමාජයේ වැඩි අවධානයට ලක්නොවෙන ප්‍රශ්න කීපයක් සහ විසඳුම් සටහන් කරන්නම් .මේ දේවල් ලියන්නේ බෞද්ධයන් ලෙස අපගේ වගකීමක් ඉටු කරනු පිණිසයි .පුද්ගල අපහාස නැතුව කරන විවේචනවලට පිළිතුරු දෙන්නත් අප වැරදි නම් එම වැරදි නිවැරදි කරගන්නත් සුදානම් අපි බලමු කලින් කතා කල ප්‍රශ්නවලට විසඳුම් මොනවාද කියා .අපි විවෘත සහ සාධාරණ ලෙස මේ ගැන කතාකරමු .

    1.සාමණේර කැපකරු දායක ක්‍රමයක් ඇති කිරීම

    මෙය ප්‍රේමදාස යුගයේදී ක්‍රියාත්මක උනා නමුත් එය කොතරම් විධිමත් ලෙස ක්‍රියාත්මක උනාද යන්න සැක සහිතයි .දැනට ලංකාවේ සාමණේර හිමිවරුන් 20,000 කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර බෞද්ධයන් මිලියන 15 ක් පමණ සිටිනවා .මිලියන 15 ක ජනතාවකට සාමණේර හිමිවරුන් 20,000 කට සිව්පසය ලබාදෙමින් රැක බලාගැනීමට නොහැකි වීම කණගාටුදායක තත්වයක් .

    ඇතැම් ප්‍රදේශවල සාමණේර භික්ෂුන් ඉතාම දුෂ්කරතා මැද ශාසනික සහ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා .ඇතැම් දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන්වල දානය නොලැබීම නිසා ගොවිතැන් කටයුතු කිරීමටත් උන්වහන්සේලාට සිදු වී තිබෙනවා .උදාහරණ බොහෝයි .වැදගත් වෙන්නේ විසඳුමයි .

    ලක්ෂ 150 ක් පමණ වන බෞද්ධයන් අතරින් ශාසනය රැකගැනීමට කැමති 20,000 ක් වත් තෝරාගෙන මේ සාමණේර භික්ෂුන්ගේ අවශ්‍යතා සොයා බලා දායකත්වය ලබාදීමට කටයුතු කිරීම සුදුසු වේ .එවිට උන්වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් නොමැති වීම නිසා ඇතිවෙන කලකිරීම් අවම වේවී .කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් ඇතැම් විහාරස්තානවල වැඩ කරන ඇතැම් බෞද්ධයන්ද මේ වැඩසටහනට එකතු කරගත යුතුය .ශාසනික සේවය සමාජ සේවය මෙන්ම සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමටද උන්වහසේලාට එමගින් පහසුවක් වේවි .සාමණේර භික්ෂුන් වහන්සේලා යනු සසුනේ අනාගතය බව අමතක නොකළ යුතුයි .

    එසේම සිය ජීවිතය සමාජය උදෙසාම කැප කර ඇති උන්වහන්සේලා බෞද්ධයන්ගේ ආගමික අවශ්‍යතා සපුරන අතර බෞද්ධ සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට මහඟු මෙහෙවරක් සිදු කරනවා .උන්වහන්සේලාගේ කැප කිරීම අප තේරුම් ගත යුතුය .ආගමික කටයුතුවලට කැඳ වූ විට පුද්ගලික අවශ්‍යතා පසෙකලා සහභාගී විය යුතුය .ක්‍රීඩා කටයුතු කළා කටයුතු උන්වහසේලාට අකැපයි .සියලු නෑ හිත මිතුරන්ගෙන් දුරස්ව ජීවත් විය යුතුයි .පිරිවෙන් අධ්‍යාපනය හෝ ශාස්ත්‍රීය අධ්‍යාපනය හැර වෙනත් කැමති අධ්‍යාපනයක් ලැබීමට වරම් නැත .කැමැති ස්ථානයකට කැමති වෙලාවක යාමට ගිහි අපට මෙන්ම අවස්තාවක් උන්වහන්සේට නැත .

    භික්ෂුන් වහන්සේලා නොමැති කළ ශාසනයක්ද නැත. බෞද්ධ සංස්කෘතියක්ද නැත .එනිසා භික්ෂුන් වහන්සේලාව රැකගැනීම සිව්පසය සැපයීම බෞද්ධයන්ගේ පරම වගකීමකි .මේ කටයුත්ත විධිමත් ලෙස ආරම්භ කරන්නේනම් අපගේ පුර්ණ සහාය ලැබෙනු ඇත .

    -මතු සම්බන්ධයි
    රන්ජන් බාලසූරිය
    සංවාදයට විවෘත්තයි...
    ඔබගේ ප්‍රතිචාර ලිපි editor@yuthukama.com වෙත යොමුකරන්න

    ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
    (Like us on facebook)
    https://www.facebook.com/yuthukama

    10/10/2015

    ළමා අයිතිවාසිකම් සහ බුදු සසුනේ චිරස්ථිතිය ( 3 කොටස )

    කතෘ:යුතුකම     10/10/2015   1 comment
    පෙර ලිපි

    අද එතැන් සිට..
    ඉහත කාරණය ගැන අවසන් වශයෙන් අපගේ අදහස් දැක්වීම මෙන්ම බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අපගේ යෝජනා කීපයක් ඉදිරිපත් කිරීම අප පොරොන්දු වූ ලෙසට සිදු කළ යුතුව ඇත .උක්ත කාරණයේ පසුබිම ගැන පැහැදිලි කිරීම් දෙකක් කලින් සිදු කළ අතර දැන් එළඹ තිබෙන්නේ විසඳුම් මොනවාද යන්න යෝජනා කිරීමයි .දීර්ග ලිපියක් ලිවීමට වැඩි කාලයක් ගතවීම සහ දීර්ග ලිපි කියවීමට බොහෝ අය අකමැත්තක් දැක්වන නිසා කෙටියෙන් එක කරුණකට එක පෝස්ට් එකක් වශයෙන් කොටස් කීපයකින් අපගේ අදහස ඉදිරිපත් කරමු .

    මේ කාරණය ගැන විවෘතව කතාකිරීමේදී අපට යම් යම් විවේචනවලට මුහුණ දෙන්නට සිදු වුණි .බුදු දහම යනු සිතීමේ විමසීමේ නිදහස ඇති විවෘත වූ දහමකි .එය අන් ආගම් මෙන් අන්ධ භක්තිවාදය පිළිනොගන්නා අතර ඕනෑම කරුණක් පත පොතෙන් හෝ සම්ප්‍රදායෙන් පරම්පරාවෙන් ආ පමණින් පිළිනොගන්නා ලෙසට උපදෙස් දෙන දහමකි .එසේම බුදු හිමියන් සර්වබලධාරී දෙවි කෙනෙකුන් නොවන අතර බුදු සසුන සම්බන්ධ කරුණුවලදී සාමාන්‍ය සමාජයේ මිනිසුන්ගේ අදහස් සහ ඉල්ලීම්වලට ඉඩ දුන් අවස්ථා බුද්ධ චරිතය තුල බොහෝ ඇත.ඒ මත පදනම්ව මේ සසුනේ චිරස්ථිතිය උදෙසා වන අවසන් විසඳුම් ගැන කතා කරමු .

    1.විවිධ අයුරින් අනාථභාවයට පත්වෙන දරුවන් උදෙසා බෞද්ධ විහාරස්ථාන මුලිකත්වයෙන් ගිහි පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් අරමුදලක් හා ළමා නිවාස ඇති කිරීම .එමගින් නිසි අධ්‍යාපනයක් ලබාදීම .

    ආර්ථික හෝ වෙනයම් හේතුන් මත අසරණ වෙන බෞද්ධ දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් එම දරුවන්ව මුලින්ම යොමු කළ යුත්තේ ළමා නිවාස වෙතය .එම ආයතනවල විධිමත් පුහුණුවක් ලැබූ කාර්යමණ්ඩලයක් සිටිය යුතුය .මන්දයත් මුල් ළමාවිය සංවර්ධනය සහ දරුවා සමාජානුයෝජනය කිරීම සඳහා ඒ පිලිබඳ පුහුණුවක් දැනුමක් ඇති අයගේ දායකත්වය අවශ්‍ය වේ .

    එහිදී දරුවාගේ සහජ කුසලතා දැනුම සහ ආකල්ප වර්ධනය වෙන අධ්‍යාපනයකට ඔවුන්ව යොමු කළ යුතුය .මේ දරුවන් අතර අනාගත දක්ෂ ක්‍රීඩකයන් කලාකරුවන් ඉංජිනේරුවන් වෛද්‍යවරුන් පමණක් නොව වඩු මේසන් ආදී වෙනත් වෘත්තිකයන්ද සිටිය හැක .ඔවුන්ගේ රුචිකත්වයන් විවිධය .ඔවුන්ට කැමති ක්ෂේත්‍රයක් තුලින් ඉදිරියට යාමට එයින් අවස්තාව සැලසේ .
    දැනට බොහොමයක් ළමා නිවාස අන්‍යාගමික සංවිධාන විසින් පවත්වාගෙන යන අතර කුඩා දරුවන්ව බෞද්ධ සංස්කෘතියෙන් ඈත් කිරීම සුක්ෂම ලෙස සිදු කෙරේ .බෞද්ධ ළමා නිවාස ඇතත් ඒවා සීමිතය .

    එනිස කළ යුත්තේ භික්ෂුත්වය රැකගැනීමට අපහසු හයක් හතරක් නොදන්නා කිරි දරුවන් එක්වරම සසුන්ගත කිරීම හෝ මෙවැනි අන්‍යාගමික කල්ලිවල ගොදුරක් වීමට එවැනි ළමා නිවාසවලට භාර දීම නොව බෞද්ධ ළමා නිවාස තුලින් විධිමත් ලෙස සමාජගත කිරීම හෝ දැනුම් තේරුම් වයසට ආ පසුව දරුවාගේ කැමැත්ත සහ භාරකාරයන්ගේ කැමැත්ත ඇතුව පැවිදි කිරීමයි .

    මන්ද යත් ආගම දහමට නැඹුරු වූ දරුවන්ද මේ අතර සිටිය හැක .ළමා නිවාසය තුල ආගමික පරිසරයක හැදෙන වැඩෙන අතර තුර යම් දරුවෙකුට සසුන්ගත වීමට අවශ්‍ය වුවහොත් වගකිවයුත්තන්ගේ අවසරය මත එයට ඉඩ දිය යුතුය .එයද දරුවාට ස්වාධීනව සිය කටයුතු කරගත හැකි වයසකට එළඹී පසුවය .පැවිදි කළ යුතු නිශ්චිත වයස පිළිබඳවද විවාදයක් පවතින නිසා ඒ ගැන විමසීම වටී .
    බුද්ධ කාලීන භාරතය තුල වයස අවු 16 න් පසුව දරුවෙකු ස්වාධීන තීරණ ගත හැකි අයෙකු ලෙස සැලකිණි.එනිසා මුලින්ම බුදු හිමියන්ද පුද්ගලයෙකු පැවිදි වීමේ වයස් සීමාව ලෙස වයස අවු 15 සළකා ඇත .එහෙත් පසුව ආනන්ද හිමිගේ දායක නිවසක වැඩිහිටියන් මිය යාම නිසා අසරණ වූ දරුවන් දෙදෙනෙක් පැවිද්ද ඉල්ලා සිටීම නිසා බුදු හිමියන් මේ නීතිය සංශෝධනය කර ඇත්තේ කවුඩන් එළවිය හැකි වයසක දරුවන් පැවිදි කළ හැකි බවට සංශෝධනයක් කරමිනි.එකල මෙකල මෙන් ළමා නිවාස නොතිබෙන්නට ඇත එහෙත් එහිදී වයසක් ගැන නිශ්චිතව සඳහන් කොට නැති අතර එය සුවිශේෂී තත්වයක් මත ගත් තීරණයකි .රාහුල හිමියන් අවයස අවු 7 දී පැවිදි වීම නිසා වයස අවු 7 පැවිදිවීමට අවම වයස ලෙස සැළකුවද එයද සුවිශේෂී තත්වයක් මත සිදු වූ පැවිදි කිරීමක් බව පෙනේ .

    බුදු හිමියන් මෙහිදී වයස සම්බන්ධ කාරණයට වඩා ස්වාධීන තීරණ ගත හැකිවීම සහ භික්ෂු ප්‍රතිරූපයට ගැලපෙන ලෙස කටයුතු කිරීමට හැකි වීම වැදගත් කොට සළකා ඇති බව පෙනේ.උදාහරණ ලෙස //ශාසනික සම්ප්‍රදාය අනුව පැවිදි බිමට පත් කළ යුත්තේ වයස අවුරුදු හතක්‌ සපිරුණ ළමුන් පමණි. එම වයස්‌ සීමාව තීරණය වීමට පදනම් වූ කරුණු කීපයක්‌ තිබේ. බුදුරදුන්ගේ කාලයේ පැවිදි වූ දරු පිරිසක්‌ රාත්‍රියෙහි නින්දෙන් අවදිව කෑමට ආහාර ඉල්ලමින් අඬන්නට වූහ. ඔව්හු මලමුත්‍රවලින් සෙනසුන අපිරිසිදු කළහ. තම පියා සමග සසුන්ගත වූ ළදරුවෙක්‌ පියාගේ පාත්‍රයට පිරිනමන ආහාර ඉල්ලා ඇවටිලි කිරීමට පුරුදුව සිටියේය. සැදැහැවත්තු එය දැක මෙහෙණකගෙන් උපන් දරුවකු වන්නට ඇතැයි අවමන් කළහ. එවැනි සිදුවීම් කෙරෙහි අවධානය යොමු කළ බුදුරජාණන් වහන්සේ කටුක දිවිපෙවෙතක්‌ ගතකරන්නට නොහැකි බැවින් වයස අවුරුදු පහළොවට අඩු කුඩා දරුවන් පැවිදි නොකරන්නැයි භික්‍ෂූන්ට දැන්වූහ. ළමයකුගේ කායික හා බුද්ධිමය වර්ධනය සිදුවන පොදු වයස අවුරුදු 15 ලෙස බුදු දහමෙන් පිළිගත් බව එයින් පෙනේ.// උපුටාගැනීම දිවයින -මැදගම ධම්මානන්ද හිමි

    එම ලිපියේ සඳහන් ලෙස 1980 මැයි දින උළෙලේදී අන්‍යාගමික දේශපාලකයෙකු විසින් වයස අවු 4 ක සාමණේර හිමි නමක ඔසවා සුරතල් කිරීම නිසා මහනාහිමිවරුන් විසින් පැවිදි කිරීමේ අවම වයස නැවත අවු 7 ක් කොට ඇත .මෙසේ මේ කාරණය අවස්තානුකුලව යෙදෙන ප්‍රායෝගික තත්වයන් මත යම් යම් සංශෝධනයන්ට ලක්ව ඇති බව පෙනේ .

    කෙසේ වෙතත් මෙසේ කුඩා වයසේදී පැවිදි බව ලබන පිරිස සසර කලකිරීම නිසා හෝ ගිහි සැප එපාවීම නිසා සසුන්ගත වන අය නොවේ .එහෙත් කුමන කාරණයක් නිසා පැවිදි වුවද පැවිදි කාලය තුල ශාසනික වත් පිළිවෙත් රකිමින් බෞද්ධ සංස්කෘතිය පවත්වාගෙන යාමට ලබාදෙන දායකත්වයට සමාජයේ ගෞරවය එම අයට හිමි විය යුතුය .

    -මතු සම්බන්ධයි
    රන්ජන් බාලසූරිය

    ලිපි මාලාවේ අවසානය දක්වා කියවන්න
    සංවාදයට විවෘත්තයි...
    ඔබගේ ප්‍රතිචාර ලිපි editor@yuthukama.com වෙත යොමුකරන්න

    ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
    (Like us on facebook)

    10/02/2015

    ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් (2 කොටස )

    කතෘ:යුතුකම     10/02/2015   No comments
    ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් (2 කොටස )

    මේ ලිපි මාලාවේ පළමු ලිපිය  >>
    මේ එහි දෙවැන්නයි..

    කුඩා දරුවන් පැවිදි කිරීම ගැන සමාජ ජාලා තුල ඇතිවී තිබෙන සංවාදයට තවත් කරුණු කීපයක් එකතුකළ යුතුව තියෙනවා .මේ ගැන තවදුරටත් වාද විවාද කිරීමට අවශ්‍යතාවයක් නොතිබුනත් අප මේ කරුණු ගැන කළ අධ්‍යයනයේදී ඇතැම් අය කරුණු විකෘති කොට තිබු බව තහවුරු වූ නිසාත් උක්ත ප්‍රශ්නය ගැන හුදු විවේචනවලින් නොනැවතී සම්බුදු සසුනේ චිරස්ථිතිය සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කළ යුතු නිසාත් මේ කරුණු ටික ලියන්නම් .මුලින්ම මේ අය පලකරන අසත්‍ය අදහස් මොනවාද බලමු

    1.සම්ප්‍රදායට අනුව වයස 7 න් ඉහල දරුවන්ව පැවිදි කළ හැකි බව කීම
    මෙය සම්පුර්ණ අසත්‍යයකි .කුරුල්ලෙකු එළවීමට හැකි දරුවෙකු පැවිදි කළ හැකිය යන්න සම්ප්‍රදායයි .මෙය බුද්ධ භාශිතයක්ද යන්න ගැන සැක සහිතය .කුරුල්ලෙකු එළවීමට වයස අවු 3 ක දරුවෙකුටද හැක .එනිසා එවන් වයසක් පැවිදි වීමට සුදුසුද යන්න සම්ප්‍රදාය ගැති නොවී මධ්‍යස්ථව සිතා බලන්න .

    2.පැවිදිවීමට පෙර දරුවෙකු වසරක කාලයක් වත්පිළිවෙත් පුහුණු වෙන බව
    මෙයද සම්පුර්ණ අසත්‍යයකි .අපට දැනගන්නට ලැබුණු පරිදි පැවිදිවීමට දින ගණනකට මාස ගණනකට පෙරද දරුවන් පන්සලට භාරදේ .
    සමාජ ජාලා තුල භික්ෂුන් වහන්සේලා සිටින බැවින් ඒ ගැන විමසා ඕනෑම කෙනෙකුට සැක හැර ගත හැක .

    3.ඉස්ලාමයේ ළමා විවාහ සහ රාවතාවත්ත පල්ලියේ සිදුවීම් වැනි දේවල් නිසා මේ කරුණ ගැන කතා නොකළ යුතු යයි කීම

    ඉස්ලාමයේ මෙහෙමයි කිතුනු ආගමේ මෙහෙමයි කියමින් අපේ වැරදි සාධාරණීකරණය කරන එක බෞද්ධකමද ? අවු 3-4 දරුවන් දෙමව්පියන් ඇසුරේ හැදෙන්න ඕනේ එසේ නැත්නම් නිසි ආරක්ෂාවක් තියෙන දරුවන් හැදීම ගැන පළපුරුද්දක් තියෙන ආයතනයක් භාරයේ හෝ හැදෙන්න ඕනේ .ළමා අයිතිවාසිකම් අහිමි කරමින් සසර ගැන තියා ලෝකය ගැන කිසිම දෙයක් නොදන්නා වයසක පැවිදි කරලා කැමති අධ්‍යාපනයක් හෝ වෘත්තියක් පුහුණු වෙන්නට නොදී බලෙන් ප්‍රාචීන අධ්‍යාපනය ලබාදෙන එක දරුවාට කරන සාධාරනයක්ද ?

    4.නොදරු වයසේදී පැවිදි උවත් ඉගෙන ගෙන පසුව ගිහි සමාජයට එක්විය හැක .
    මෙයද යථාර්ථය නොදැන කළ ප්‍රකාශයකි .පැවිදි වූ අය බොහෝ විට ලබන්නේ ප්‍රාචීන අධ්‍යාපනයයි එනම් පිරිවෙන් අධ්‍යාපනයයි .එහිදී බුදු දහම පාලි සංස්කෘත වැනි විෂයන් ඉගෙන ගත්තත් එම විෂයන්වලට වත්මන් වාණිජ සමාජයේ වටිනාකමක් නැත .එම සුදුසුකම් මත පුද්ගලික ආයතනයට රැකියාවකට ගිය හොත් එවැනි අයෙකුට සම්මුඛ පරීක්ෂණයේ සිටම නින්දා අපහාස අවලාද අසන්නට ලැබෙන බව අපට දැනගන්නට ලැබුණි .සමාජයෙන්ද ලැබෙන්නේ ගැරහුම්ය .පිරිවෙන් අධයාපනය තුලින් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ගණකාධිකාරීවරුන් හෝ වඩු කාර්මික ආදී වෙනත් වෘත්තිකයන් බිහි වන්නේ නැත .එනිසා පුද්ගල සහජ දක්ෂතා අනුව ජීවන වෘත්තියකට පිවිසීමට මේ අයට අවස්ථාව නැත .ඒ අනුව මේ අයට කැමති අධ්‍යාපනයක් ලැබීමේ අයිතියද අහෝසි වී ඇත .

    තවත් මෙවැනි ප්‍රයෝගික සත්‍යය නොදැන කළ ප්‍රකාශයන් බොහෝය .පොස්ටුව දීර්ග විය හැකි බැවින් සියල්ලට මෙහි සටහන් කළ නොහැක .

    පසුගිය කාලයේ විවිධ ආගමික වැඩකටයුතු කරමින් භික්ෂුන් වහන්සේලා සමග අප සිදු කළ සාකච්ඡාවන්හිදී මතු වූ කරුණු අනුව මේ ලිපි සැකසිණි .විවේචනවලින් නොනැවතී මේ ගැටළු මගහරවාගෙන කටයුතු කිරීමට යෝජනා ඉදිරපත් කිරීමද අපගේ වගකීමකි . සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා භික්ෂුන් වහන්සේලාගෙන් මතු වූ කරුණු පාදක කරගෙන අපට ඉදිරිපත් කළ හැකි යෝජනා ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු .

    -රන්ජන් බාලසූරිය
     
    ලිපි මාලාවේ අවසානය දක්වා කියවන්න
    සංවාදයට විවෘත්තයි...
    ඔබගේ ප්‍රතිචාර ලිපි editor@yuthukama.com වෙත යොමුකරන්න
     

    ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
    (Like us on facebook)
    https://www.facebook.com/yuthukama

    9/26/2015

    කුඩා දරුවන් මහණ කිරීමේ ගැටලුව කුමක්ද?

    කතෘ:යුතුකම     9/26/2015   No comments

    ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් (1 කොටස )  

    කුඩා දරුවන් පැවිදි කිරීම පිළිබඳව සමාජ ජාලා තුල යම් සංවාදයක් ඇති වී ඇත . හිතළු මත පදනම් නොවී සැබෑ තත්වය සංවාදයට ලක්කිරීමත් ඒ තුලින් වත්මනේ ලක් බුදු සසුන මුහුණදෙන ගැටළු එහි පසුබිම සහ විසඳුම් පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි . බෞද්ධයන් ලෙස ඕනෑම දෙයක් විචාරාත්මකව බැලීමටත් විවෘතව සාකච්ඡා කිරීමටත් අපට නිදහස තිබේ .කෙසේ වෙතත් මේ කරුණ ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමට අපට අවශ්‍යතාවයක් නොතිබුණත් කරුණු නොදන්නාකමින් හෝ උවමනාවෙන් කරුණු වසන් කිරීමෙන් සමාජයට සිදුවෙන අගතිය සළකා මේ ගැන අපගේ අදහස් දැක්වීමට තීරණය කළෙමු .

    මුල් බුදු සමයට අනුව භික්ෂුව යනු සසර බිය දැක තමන් එම දුකින් එයින් මිදීමට සහ සියලු සත්වයා සසර දුකින් මුදවා ගැනීමට උත්සාහ දරන අයෙකි .භික්ෂුත්වයට පත් වීමෙන් පසුව පැවිදි ජීවිතය ඉදිරියට ගෙන යාමට ග්‍රන්ථ ධුරය හෝ විදර්ශනා ධුරය තෝරාගත හැක .ග්‍රන්ථ ධුරය යනු ග්‍රාමවාසීව වැඩවසමින් බණ දහම ඉගෙන ගෙන ජනතාවට බණ දහම් කියාදෙමින් බෞද්ධ සංස්කෘතිය මෙන්ම බෞද්ධ දර්ශනය ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි .විදර්ශනා ධුරය යනු ආත්ම විමුක්තිය පතා කමටහන් ගෙන භාවනා කරමින් සාමාන්‍ය සමාජයෙන් ඈත් වී ආරණ්‍යගතව වැඩවසමින් නිර්වාණගාමී ප්‍රතිපදාව පිරීමයි .
    බුදු සසුනේ පැවිදිවෙන බොහෝ දෙනෙක් පැවිදි වන්නේ පහත සඳහන් හේතුන් නිසාය

    1.පවුලේ ආර්ථික දුෂ්කරතා
    2.ග්‍රහ අපල පිලිබඳ මිත්‍යා විශ්වාස
    3.දෙමව්පියන් වෙන්වීම හෝ අතහැර දැමීම නිසා අනාථ වීම
    4.ගිහි සැප සම්පත් කෙරෙහි කලකිරීම
    වැනි හේතුන් ඒ අතර වේ .

    4 වෙනි කරුණ හැර අනෙක් කාරණා හේතුකොටගෙන පැවිදිවීම බොහෝ විට සිදුවන්නේ ඉතාම කුඩා වයසේදීය .එක්තරා විහාරස්ථානයකදී අපට හමුවූ සාමණේර භික්ෂුවක් පන්සලට භාරදී ඇත්තේ වයස අවු 3 දීය .සසර කලකිරීමට තබා එම 6-4 තේරුම් ගැනීමටවත් ප්‍රමාණවත් නැත .කොතරම් කුඩා වයසකදී පැවිදි උවත් සිය කටයුතු තමන්ටම කරගැනීමට මේ කුඩා භික්ෂුන්ට සිදුවේ .එයට අමතරව පන්සලේ වත්පිළිවෙත් ඉටු කළ යුතුය .එසේ කළ නොහැකි වූ විට වැඩිහිටි භික්ෂුන්ගේ තාඩන පීඩනවලට ලක්වෙන අවස්ථාද තිබේ .අවු 10 ට අඩු දරුවෙකු කායික මානසික හිංසනයන්ට ලක්වීම සමාජානුයෝජයෙදී බරපතල ප්‍රශ්නයකි .

    නැවත මේ අයට පන්සලෙන් ඉවත්වීමටද බොහෝවිට හැකියාවක් නැත්තේ සමාජයෙන් ලැබෙන නින්දා අපහාස නිසා සහ අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසා දෙමව්පියන් බොහෝවිට මෙවැනි භික්ෂුන්ව නැවත භාරගැනීමට අකමැති වීමයි .මා දන්නා පන්සලට කුඩා භික්ෂුන් කීප නමක් නිතර අසනීප වීම නිසා වෛද්‍යවරුන් ඒ කාරණය විමසා බැලීමේදී එය මානසික හේතුන් නිසා සිදුවෙන බව තේරුම් ගෙන නැවත ඔවුන්ව දෙමව්පියන්ට භාරදෙන ලෙස නිර්දේශ කළේය .

    හිංසා පීඩා තාඩන පීඩනවලට අමතරව මෙහි සඳහන් නොකළ හැකි දේවල්වලටද මේ කුඩා සාමණේර හිමිවරුන්ට මුහුණ දීමට ඇතැම් විට සිදුවේ .කෙසේ වෙතත් මේ සියලු ප්‍රශ්න මැද අධ්‍යාපනය හදාරන සාමණේර හිමිවරුන්ට සිදුවන්නේ පැවිදි ජීවිතයදී මෙන්ම අධ්‍යාපන කටයුතුවලදීත් එකම රාමුවකට කොටු වීමයි .වත්මන් වානිජවාදී සමාජය තුල පිරිවෙන් අධ්‍යාපනයට වාණිජමය වටිනාකම බොහෝ අඩුයි .පිරිවෙන් අධ්‍යාපනය තුල පාසලේදී මෙන් කිසිදු වෙනත් වෘත්තියකට යොමුවීම සඳහා අධ්‍යාපනය ලබානොදේ .පිරිවෙන් අධ්‍යාපනය තුලින් දොස්තරවරුන් ඉංජිනේරුවන් ගණකාධිකාරීවරුන් හෝ වෙනත් වෘත්තිකයන් බිහි නොවේ .ප්‍රාචීන අධ්‍යාපනයෙන් පසුව පිවිසිය හැකි එකම ක්ෂේත්‍රය ගුරු වෘත්තීය හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයයි .අවු 6-7 දී පැවිදිවෙන අයෙකුට ලෝකය ගැන ඇති අඩු අවබෝධය නිසා මෙවැනි කරුණු මුලින්ම තේරුම් ගන්නේ නැත .විවිධ ආගමික කටයුතුවලට අප පන්සල සමග සමීපව කටයුතු කරන නිසා මේවැනි අභ්‍යන්තර තොරතුරු අපට දැනගන්නට ලැබේ .පැවිදි වීමේදී "අනුකම්පාව උපදවා සියලු දුක් නිමාකර නිවන් අවබෝධය සඳහා මේ කසාවත ගෙන මා පැවිදිකරන්න"යි පැවිද්ද ලබන්නා ප්‍රකාශයක් කළ යුතුය .උක්ත ප්‍රකාශය කරන අවු 7-8 ක දරුවෙකු මෙහි තේරුම පවා හරිහැටි නොදැන එම ප්‍රකාශය කියවයි .

    බොහෝ අය මෙහිදී උදාහරණ වශයෙන් රාහුල හිමිගේ කතාවස්තුව ගෙන හැර දක්වයි .එය සුවිශේෂී තත්වයකි .රාහුල හිමියන් පැවිදි කිරීමෙන් පසුව සුද්ධෝදන රජතුමා පැමිණිල්ලක් සහ ඉල්ලීම් කළේය .එනම් තමන් රාහුල කුමරුන් ගැන මහත් බලාපොරොත්තු තබාගෙන සිටිබවත් රාහුල කුමරුන් පැවිදි කිරීම නිසා තමන් මහත් ශෝකයට පත්වූ බවත්ය . බුදු හිමියන් මින්පසුව කිසිදු දිනෙක දෙමව්පියන්ගේ අවසරයක් නොමැතිව දරුවන් පැවිදි නොකරන ලෙස නීතියක් පනවන්නේ එම ඉල්ලීමට අනුවය .
    අවු 10 ට අඩු දරුවන් විවිධ හේතු නිසා සසුනේ පැවිදි කිරීම නිසා පහත ප්‍රශ්න ඇතිවේ .
     
    1.දෙමව්පියන් නෑ හිතමිතුරන්ගෙන් දුරස්වීම නිසා සමාජානුයෝජනය්දී ප්‍රශ්න ඇතිවීම .
    2.සියලු කටයුතුවලදී දෙමව්පියන් වැඩිහිටියන් මත යැපෙන ඉතා කුඩා වයසකදී වත්පිළිවෙත් සහ තමන්ගේ කටයුතු තනිවම කරගැනීමට සිදු වීම
    3.තමන් කැමති සහ තමන් දක්ෂතා පෙන්වන අධ්‍යාපන ක්ෂේත්‍රයකට යොමුවීමට ඇති ඉඩ ප්‍රස්තා අහිමිවීම
    4.විවිධ තාඩන පීඩන මානසික කායික පීඩාවන් අතවරවලට ලක්වීමට සිදුවීම .
    5.ඇතැම් විට වැඩිහිටි හිමිවරුන්ගෙන් ඇතිවෙන ප්‍රශ්න නිසා විවිධ පන්සල්වලට මාරුවීමට සිදුවීම සහ අවසානයේ වගකිවයුත්තෙක් හෝ වගවීමක් නොමැති වීම ( ජීවිත අයාලේ යාම ) මෙවැනි දේවල් ඇතැම් විට ගෝල හිමිවරුන් තමන්ට වඩා දක්ෂ සහ ජනප්‍රිය වීමේදී ගුරු හිමිවරුන් අතින් සිදුවේ .
    6.අවු.6 දී නොතේරුම්කම නිසා පැවිදි වුවත් අතරමංවීම සමාජ අපවාදයට ගර්හාවට නින්දා අපහාසවලට ඇති බිය නිසා නැවත ගිහි සමාජයට එක්වීමට බිය වීම .

    මෙම ගැටලුවලට විසඳුම් සහ බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග අපි ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු .

    -රන්ජන් බාලසූරිය
     
    ලිපි මාලාවේ අවසානය දක්වා කියවන්න
    සංවාදයට විවෘත්තයි...
    ඔබගේ ප්‍රතිචාර ලිපි editor@yuthukama.com වෙත යොමුකරන්න


    ඔබත් යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුව හා එක්වන්න
    (Like us on facebook)

    https://www.facebook.com/yuthukama

    Labels

    -ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

    පාඨක ප්‍රතිචාර

    ලිපි ලියූවෝ

    Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions