9/29/2017

ඡන්දෙට බය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරගන්නට හදන හැටි.

කතෘ:යුතුකම     9/29/2017   No comments
ජනමතය පාගාගෙන ෆෙඩරල් මතුවීමේ අනතුරක්‌...
නීතිඥ කල්‍යානන්ද තිරාණගම

පසුගියදා සංශෝධිත මැතිවරණ පනත සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්‌ථාවේ නොයෙකුත් නීති විරෝධී ක්‍රම අනුගමනය කරමින් ආණ්‌ඩුව පළාත් සභා ඡන්ද කල් දැමීමට කටයුතු කරන බවට ප්‍රබල විරෝධයක්‌ නැගිණි. ආණ්‌ඩුව ඡන්ද කල් දැමීමට කටයුතු කරනවාද? එසේ නම් ඒ ඇයි? මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සිදුකරන විග්‍රහයකි මේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව කටයුතු කරමින් ඡන්ද කල් දැමීමට කටයුතු කරන බවට ආණ්‌ඩුවට චෝදනාවක්‌ එල්ල වී තිබෙනවා?

රටක මහජන මතය ප්‍රකාශ වෙන්නේ නියමිත පරිදි ඡන්ද පවත්වනවා නම් පමණයි. මේ ආණ්‌ඩුව දැන් නොයෙක්‌ උප්පරවැට්‌ටි යොදමින් ජන්ද කල්දැමීමට උත්සාහ දරන්නෙ මහජන මතය ප්‍රකාශ වීම වළක්‌වන්නයි. ආණ්‌ඩුව මහජන මතයට බයයි.

ආණ්‌ඩුව ඇයි මහජන මතයට බය?

ආණ්‌ඩුවේ හෝ පළාත් සභාවක ප්‍රාදේශීය සභාවක කාලය අවසන් වූ පසු ඒවා ඉබේ විසිරෙන බවත් ඉන්පසු ඡන්දයක්‌ පවත්වා එම ආයතන බලාත්මක කළ යුතු බවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන්ව තිබෙනවා. එය කල් දැමීමට බැහැ. පසුගියදා සුප්‍රිම් උසාවිය තීන්දු කළෙත් එයයි. ඡන්දය කල් දැමීමට කටයුතු කරනවා නම් ඒ පිළිබඳ අනිවාර්යයෙන්ම ඡනමත විචාරණයක්‌ පැවැත්විය යුතුයි. විධායක බලය හෝ පාර්ලිමේන්තු බලය තීරණය වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්. ඡන්දය යනු ජනතාව සතු පරමාධිපත්‍ය බලය.

සීමා නීර්ණ හෝ කාන්තා නියෝජනය වැඩි කිරීම වැනි මේ ආණ්‌ඩුව දැන් මේ ගෙනැවිත් තිබෙන යෝජනා පළාත් සභා ඡන්දය කල් දැමීමට යොදන උපක්‍රම. මේවා කරන්න අවංක උවමනාවක්‌ තිබුණා නම් 2015 හෝ 2016 ඒවා කළ යුතුව තිබුණා. විසුරුවන්ට ඔන්න මෙන්න තිබෙද්දී එක එක යෝජනා ගෙන එන්නේ ඡන්දය කල් දමන්නයි.

පසුගිය බදාදා සම්මත කරගත් පනත ජුලි මාසෙ ගැසට්‌ කළේ. එහෙම නම් ඒක කල් ඇතිව ගේන්න තිබුණ. නීතිපති ප්‍රකාශ කර තිබුණා මේ පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ජන්දයෙන් සම්මත කළ හැකියි කියල. මම නම් හිතන්නෙ නීතිපතිගෙ ඒ තීරණය වැරදියි. මෙම පනත නිසා ඡන්දය කල් දැමීමක්‌ සිදුවෙනවා නම් තුනෙන් දෙකේ ඡන්දයකින් එය සම්මත කරන්න බෑ. එය තීරණය කළ යුත්තේ ජනමත විචාරණයකිනුයි. තුනෙන් දෙකේ ඡන්දයකින් එය සම්මත කිරීමේ තීරණයට මැතිවරණ කොමසාරිසුත් එකඟ වුණා නම් ඔහුත් ඒ අපරාධයේ හවුල්කරුවෙක්‌ බවයි මගේ අදහස. අද ජනතාවගේ පරමාධිපත්‍ය බලය මංකොල්ල කන්න උත්සාහ දරන්නේ මේ සියලු දෙනාගේම උදව්වෙන්.

ආණ්‌ඩුව කියන්නෙ මේ ඡන්දය කල්දාන්න ආණ්‌ඩුවට කිසිම අවශ්‍යතාවක්‌ නැති බවයි?

පසුගිය මාස කිහිපය තුළ මේ ගැන ආණ්‌ඩුවේ කෙරුවාව බලමු. මුලින්ම කිව්වෙ විභාගෙ හින්ද ඡන්දෙ පවත්වන්න බෑ කියල. විභාගෙ දවසක්‌ එහාට මෙහාට කරන්න බැරිද? අයවැය විවාදය එහාට මෙහාට කරන්න බැරිද? ඡන්දය තියන දිනය ප්‍රකාශ කරන්න අගමැතිවරයාට අයිතියක්‌ නෑ. එය මැතිවරණ කොමසාරිස්‌ගෙ වැඩක්‌. මේ යන විදිහට ලබන අවුරුද්දෙ මැද වන විටවත් පළාත් සභා ඡන්දෙ පවත්වාවිද යන්න සැක සහිතයි.

ඡන්දය කල් දමමින් මහජන මතය යටපත් කරන්නට මේ ආණ්‌ඩුව කටයුතු කරන්නෙ විශේෂ හේතුවක්‌ ඇතිවයි. ආණ්‌ඩුව අලුත් බදු පනතක්‌ ගෙනැවිත් තිබෙනවා. මේ රටේ වයස අවුරුදු දහඅටට වැඩි සියලු දෙනාටම ඒ අනුව බදු ලිපි ගොනුවක්‌ ආරම්භ වෙනව. එහෙම වුණාට ඒ සියලු දෙනාගෙන්ම බදු අය කරන්නෙ නෑ කියල ආණ්‌ඩුව කිව්වට මේ රටේ ජීවත්වෙන සියලු දෙනාටම බලපාන පොදු සේවාවලට මේ අලුත් පනතින් බදු වැඩි කරල තියෙනව. උදාහරණයක්‌ විදිහට කවුරුහරි වෛද්‍යවරයෙක්‌ චැනල් කළොත් ඒ ගෙවන මුදලට ආණ්‌ඩුව බදු ගහනව. වයස අවුරුදු දහඅටට අඩු ද වැඩි ද යන්න ඒකට බලපාන්නෙ නෑ. මේ නව බදු පනත ක්‍රියාත්මක කරගන්න, එට්‌කා වැනි රටට බරපතළ ලෙස හානිදායක ගිවිසුම් ඇතිකර ගන්න, ෆෙඩරල් ක්‍රමයක්‌ ඇතිකිරීම සඳහා අවශ්‍ය නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම වැනි දේවල් කරන්න නම් ජනමතය යටපත් කරන්න අවශ්‍යයි. ඉදිරි මාස කිහිපය ඇතුළත ආණ්‌ඩුව උත්සාහ දරන්නේ මේ අණපනත් ගේන්නයි.

මහජන මතය විමසන්නේ නැතිව ආණ්‌ඩුවට ෆෙඩරල් ක්‍රමයක්‌ ගේන්න පුළුවන්ද?

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ ජනමත විචාරණයක්‌ අවශ්‍ය වන කරුණු 12 ක්‌ තිබෙනවා. ආණ්‌ඩුව මේ උත්සාහ දරන්නෙ එම කරුණු දොළහට අත තියන්නෙ නැතිව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය උපයෝගී කරගෙන ෆෙඩරල් පාලනයක්‌ රටේ ඇතිකිරීමට හැකි ව්‍යවස්‌ථාවක්‌ ගේන්නයි. ආණ්‌ඩුවේ ඉන්න ශ්‍රීලනිපයේ ඇතමුන්ගේත් කැමැත්ත එයට තිබෙනවා. එහෙම වුණොත් ජනමත විචාරණයක්‌ නැතිව ෆෙඩරල් පාලනයක්‌ ගේන්න පුළුවන්.

ආණ්‌ඩුකාරවරයා කියන්නෙ ජනාධිපතිවරයාගේ නියෝජිතයා. දැනට පවතින නීතිය යටතේ ආණ්‌ඩුකාරවරයාට විශේෂ බලතල තිබෙනවා. ආණ්‌ඩුකාරවරයා පත්කරන්නෙ ජනාධිපති. එම පත්වීම් කරන විට පළාත් සභා මහ ඇමැතිවරුන්ගෙන් අහන්නෙ නෑ. නමුත් දැන් පත්කර ඉන්න සමහර ආණ්‌ඩුකාරවරු විග්නේෂ්වරන්ටත් එහා ගිය ෆෙඩරල්වාදියො. ඒ අනුව ආණ්‌ඩුව මේ කරන්න හදන්නෙ මොකක්‌ද කියන දේ පැහැදිලියි.

දකුණේ ජනතාව ෆෙඩරල් යන වචනයට බියක්‌ දක්‌වන පරිද්දෙන්ම උතුරේ ජනතාව ඒකීය යන වචනයට බියක්‌ දක්‌වන බව ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව යාවත්කාලීන කරන ලද වාර්තාවේ සඳහන් වෙනවා. එමනිසා ඒකීය යන වචනය ශ්‍රී ලංකාවේ භාවිතයට නුසුදුසු බවත් නොබෙදුනු සහ බෙදිය නොහැකි ලෙස එහි අරුත වෙනස්‌ කළ යුතු බව එහි යෝජනා කර තිබෙනවා. එය දෙමළ බසින් හඳුන්වන්නේ ඔරුමිත්තනාඩු යන වදනිනුයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් මේවා සම්මත කරගන්න තමයි ආණ්‌ඩුව මේ උත්සාහ කරන්නෙ. පළාත් සභා කල් දමමින් ජනමත විචාරණ මගහරිමින් ඉදිරි මාස කිහිපය තුළ ආණ්‌ඩුවේ අරමුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක යොදාගෙන මේ පනත් සම්මත කරගන්නයි.

ආණ්‌ඩුවෙන් ඉවත්වීමට තීරණය කළ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට දෙසැම්බර් 31 තෙක්‌ ඉවසන මෙන් ජනාධිපතිතුමා පසුගියදා දන්වා සිටියා. තීරණාත්මක පියවර කිහිපයක්‌ ඉදිරි කාලය තුළ ගැනීමට බලාපොරොත්තු වන බවත් ආණ්‌ඩුව ප්‍රකාශ කර තිබෙනවා?

ආණ්‌ඩුවෙන් ඉවත් වීමට සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරු රඳවා ගත්තේ රටට ඉතාමත් අහිතකර ඉහත අණපනත් සම්මත කරගන්නට බව මගේ අදහසයි. මේ ආණ්‌ඩුව මහා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවක්‌ හැටියට ලෝකෙට පෙන්නුවත් ආණ්‌ඩුවේ මේ වැඩ ප්‍රජාතන්ත්‍රවාදයට එහෙම්පිටින්ම විරුද්ධයි. අයවැය ලේඛනය පරාද කළත් රාජ්‍ය ප්‍රතිපත්තිය, ජනාධිපතිගෙ ප්‍රකාශනය පාර්ලිමේන්තුව ප්‍රතික්‌ෂේප කළත් මේ ආණ්‌ඩුව විසුරුවාහරින්න බෑ. 2020 පෙබරවාරි මස 05 දක්‌වා මේ ආණ්‌ඩුව තිබෙනවා. 2015 සැප්තැම්බර් 05 පැවැත්වූ පළමු වැනි රැස්‌වීමේ සිට වසර හතර හමාරක්‌ ආණ්‌ඩුව වෙනස්‌ කරන්න බෑ. අගමැතිවරයා තෝරා ගැනීමේ බලතළ තිබෙන්නේ ජනාධිපතිට. කාටහරි අගමැතිකම දීල ඔහුට අවශ්‍ය ඇමැතිවරු ටික පත්කරගෙන ආණ්‌ඩුවක්‌ හදන්න ජනාධිපතිට පුළුවන්. වරප්‍රසාද බලාගෙන ප්‍රතිපක්‌ෂයේ අයත් ආණ්‌ඩු පක්‌ෂයට එනව. ඒ විදිහට ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව ව්‍යවස්‌ථා විරෝධි විදිහට, අයුතු විදිහටයි අද පාවිච්චි වෙන්නෙ. මේ රටේ ඉතිහාසයේ කවදාවත් මෙවැනි දේ සිදුවුණේ නෑ.

ජනමත විචාරණයකට නොගොස්‌ ෆෙඩරල් ක්‍රමයක්‌ ස්‌ථාපිත කරගන්නත්, ඉන්පසු එය කිසිම ආකාරයකට අවලංගු කළ නොහැකි වන සේ ව්‍යවස්‌ථාමය රැකවරණයක්‌ ඊට ලබා දෙන්නයි ආණ්‌ඩුව හදන්නෙ. දෙවැනි මන්ත්‍රණ සභාවක්‌ ගෙන ඒමට යෝජනා කර ඇත්තේ ඒ නිසයි. මේ යෝජනා මාලාවේ දැක්‌වෙන විදිහට දෙවන මන්ත්‍රණ සභාව 55 දෙනෙකුගෙන් සමන්විතයි. සෑම පළාත්සභාවකම ඉන්න මන්ත්‍රීවරු 5 දෙනෙක්‌ ඊට පත්වෙනවා. ඒ අනුව 45 දෙනෙකුත් පාර්ලිමේන්තුවෙන් පත් වෙන 10 කුත් එකතුවෙලයි 55 ක්‌ හැදෙන්නෙ. ඉන්පසු ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ යම් සංශෝධනයක්‌ කරනවා නම් ප්‍රධාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකුත් දෙවැනි මන්ත්‍රණ සභාවේ තුනෙන් දෙකක අනුමැතියකුත් ලැබිය යුතුයි. එවිට මේ නව ව්‍යවස්‌ථාවෙන් කරන්න හදන වෙනස මහා සංග්‍රාමයකින් මිස වෙනස්‌ කළ නොහැකි දෙයක්‌ බව පත්වෙනවා. ඡන්ද කල් දමමින් ආණ්‌ඩුව මේ යන්ඩ හදන්නෙ එතැන්ටයි.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

6/02/2017

බෙදුම්වාදය දිනවන ඊලඟ පිම්ම - නව ජන්ද ලැයිස්‌තු වෙනස්‌ කිරීමේ පනත සූදානම්

කතෘ:යුතුකම     6/02/2017   No comments
ආණ්‌ඩුව මැතිවරණ කල්දැමීමේ ඇත්ත මෙන්න...

මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ
විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

පසුගිය මාර්තු 07 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ දෙනා ආරක්‌ෂා කරගැනීමේ ජාත්‍යන්තර සම්මුතිය සඳහා වන පනත අපේ රටට අහිතකර පනතක්‌ ලෙස සමහරු හඳුන්වන්නේ ඇයි?


ආණ්‌ඩුව මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එම පනතට එරෙහිව අධිකරණය හමුවට යැමට පවා අවස්‌ථාවක්‌ නොලැබෙන පරිදි රජයේ නිවාඩු දින කිහිපයක්‌ ඉදිරියේ තිබියදීයි. මේ පිළිබඳ මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගණනාවක්‌ සමග කතා කළා. මේ පනත පනවන්නේ ජාත්‍යන්තර සම්මුතියක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා වුවත් අද වෙනතෙක්‌ මෙම ජාත්‍යන්තර සම්මුතියේ පිටපතක්‌ එම මන්ත්‍රීවරුන්ට ලබා දී නෑ. මේ ජාත්‍යන්තර සම්මුතියේ තිබෙන්නේ මොනවද කියලවත් ඇතැම් මන්ත්‍රීවරු දන්නේ නෑ. අපේ බොහෝ මන්ත්‍රීවරු කියවා බලන්නේ සිංහලෙන් සහ දෙමළෙන් පළවන ලිපි ලේඛන පමණයි. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත ගෙන එන අවස්‌ථාවේත් මේ ප්‍රශ්නය මතුවුණා. එම පනතෙත් මේ සම්මුතිය ගැන සඳහන් වී තිබුණා. ඇතැම් භික්‌ෂූන් වහන්සේ සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පිරිසක්‌ මෙම ජාත්‍යන්තර සම්මුතියේ සහ පනතේ අඩංගු කරුණු සිංහලයෙන් පළ කරන ලෙස ජනාධිපතිතුමා හමුවී ඉල්ලීමක්‌ කළා. නමුත් එය ඉටු වුණේ නෑ. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ අඩංගු කරුණු පිළිබඳ ඇතැම් මන්ත්‍රීවරුනුත් හරිහැටි නොදැන තිබියදී එම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. කතානායක තුමාගෙන් සහ පාර්ලිමේන්තු ලේකම් තුමාගෙන් මෙ සම්මුතියේ පිටපතක්‌ සිංහල සහ දෙමළ බසින් ලබාදෙන ඉල්ලීමක්‌ කරන මෙන් මම ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාට උපදෙස්‌ දුන්නත් ඊට පිළිතුරක්‌ නොලැබුණු බව ඒ මහතා දැන්වුවා. සම්මුතියක්‌ ක්‍රියාත්මක කිරීමට පනතක්‌ පනවන්නේ නම් එම සම්මුතියේ තිබෙන්නේ මොනවාදැයි මන්ත්‍රීවරු හෝ දැනගත යුතුයි. නමුත් පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත වුණේ එබඳු දැනුවත් dවයක්‌ නැතිවයි.

ජිනීවා යෝජනා ශ්‍රී ලංකාවට බලනොපාන බවට සරත් සිල්වා අගවිනිසුරුවරයා විසින් තීන්දුවක්‌ ප්‍රකාශ කර තිබුණා නේද?

ඔව්. එම තීන්දුව අහෝසි කරන ලෙස අගමැතිතුමා කතානායකවරයාගෙන් ඉල්ලීමක්‌ කළා. සරත් සිල්වා හිටපු අගවිනිසුරුවරයා ලබා දුන් එම නඩු තීන්දුව බල රහිත කිරීමත් එක්‌සත් ජාතීන් කර ඇති යෝජනාවලින් එකක්‌. කතානායකවරයා තවම ඊට පිළිතුරක්‌ දී නෑ.

කෙසේ වෙතත් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය ඇතිකිරීම සඳහා දැන් සියලූ කටයුතු සූදානම්. එම පනතට හේතුවන බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය පිළිබඳ එම පනතේ සඳහන් කර තිබෙනවා. එම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා එය නීතියක්‌ වශයෙන් දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ දෙනා ආරක්‌ෂා කරගැනීමේ ජාත්‍යන්තර සම්මුතිය සඳහා වන පනතේ තිබෙන අහිතකර වගන්ති මොනවද?
මෙම පනතට අනුව වගකීම් බාරගැනීම සඳහා යමෙකු අතුරුදන් විය යුතුම නෑ. යම් පුද්ගලයෙක්‌ අත්අඩංගුවට ගත් බව යමෙක්‌ පොලිස්‌ ස්‌ථානයකට හෝ හමුදා කඳවුරකට චෝදනා කළ හොත් එම පොලිස්‌ ස්‌ථානය හෝ හමුදා කඳවුර එම පුද්ගලයාට සිදුවූ දේ පිළිබඳ ප්‍රකාශ කිරීමට බැඳී සිටිනවා. එසේ ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් එය බලහත්කාරයෙන් අතුරුදන් කිරීමක්‌ ලෙස සැලකෙන බව එම පනතේ සඳහන් වෙනවා. යම් පුද්ගලයෙන් අත්අඩංගුවට ගෙන අතුරුදන් කළහොත් හෝ පැහැරගෙන ගියහොත් හෝ අදාළ ආයතනයේ ඉහළ නිලධාරියෙක්‌ තමා යටතේ සිටින නිලධාරියෙක්‌ එබන්දක්‌ කරනු ඇතැයි සිතා එය වැළැක්‌වීමට කටයුතු නොකළ හොත් ඔහුත් ඊට වගකිවයුතු බව එම පනතේ දැක්‌වෙනවා. මේ පතනට අනුව සාමාන්‍ය පොලිස්‌ නිලධාරියෙක්‌ සිදුකරන එවැනි ක්‍රියාවක වගකීම පොලිස්‌පතිවරයා වෙතද පැවරෙනවා. එවැනි ක්‍රියාවකට වගකිවයුතු සියලූ දෙනාටම මේ පනත යටතේ අවුරුදු 20 කට නොඅඩු සිරදඬුවම් නියම කළ හැකිය. අපේ රට තුළ පමණක්‌ නොව මෙම ප්‍රඥප්තියට අත්සන් කර ඇති ඕනෑම රටක්‌ තුළ එම දඬුවම් ක්‍රියාත්මක කරන්න පුළුවන්.

පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මැති ඇමතිවරුත් මේ පනතට සහයෝගය පළ කළා නේද?

මේ පනතට ශ්‍රීලනිප මැති ඇමැතිවරුනුත් සහයෝගය දැක්‌වීම මට විශාල ප්‍රශ්නයක්‌. මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සිකුරාදා දිනයක. ඊට පසු සතිය රජයේ නිවාඩු දින ගණනාවක්‌ තිබුණ නිසා මෙයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට නොහැකි වන ආකාරයටයි මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

ජිනීවා යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා වෙන මොනවද ආණ්‌ඩුව කරන්නෙ?

ඉතාමත් හදිසියෙන් ආණ්‌ඩුව තවත් පනතක්‌ ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා. ඒ තමයි ජන්ද ලැයිස්‌තු වෙනස්‌ කිරීමේ පනත. උතුරු නැගෙනහිර පළාතේ අවතැන් වූවට ජන්ද බලය ලබාදීම එහි අරමුණයි. මෙය ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව සැලසුම් කර ඇති ආකාරයත් රටට ඉතාමත් හානිකරයි. උතුරු නැගෙනහිරින් පිට පළාත්වල අවතැන් වූවන්ට එම පනත බලනොපෑම මෙහි ඇති සුවිශේෂත්වයක්‌. මෙම පනත බලපාන්නේ 2009 ට පෙර උතුර නැගෙනහිර ත්‍රස්‌තවාදී කටයුතු නිසා හෝ සටන්කාමී කටයුතු නිසා හෝ අවතැන්වූවන්ට පමණයි. එනම් 2009 වසරට පෙර ඕනෑම කාලයකදී අවතැන්වූවන් වෙනුවෙන් එය වලංගුයි. ඒ අනුව 2009 වසරට පෙර කවර කාලයක හෝ උතුරු නැගෙනහිර පදිංචිව සිට අවතැන් වූවකු ලෙස ඉදිරිපත් වන ඕනෑම කෙනෙකුට මේ පනතට අනුව ඡන්ද බලය හිමිවෙනවා. එය නිර්දේශ කිරීමට බලය දී තිබෙන්නේ දැනට එම පළාත්වල සේවය කරන ග්‍රාමසේවක නිලධාරීන්ට.

යම් පුද්ගලයෙක්‌ 2009 වසරට පෙර තමා උතුරු නැගෙනහිර පදිංචිව සිට අවතැන් වූවකු බවට උතුරු නැගෙනහිර දැනට සේවය කරන ග්‍රාමසේවක නිලධාරීවරයකුට දැනුම් දුන් පසු මේ පනත අනුව ඔහුගේ නිර්දේශ මත එම පුද්ගලයාට ජන්ද හිමි නාමලේඛනයට ඇතුළත් විය හැකියි. එලෙස අයෑදුම් කළ හැක්‌කේ 2009 වසරට පෙර අවතැන් වූ සහ 2009 වසරට පසු කිසිදු ජන්ද ලේඛනයක නම ඇතුළත්ව නොමැති පුද්ගලයිනට බවත් එම පනතේ දැක්‌වෙනවා. එනම් මේ පනත ගෙන එන්නේ උතුර නැගෙනහිර ජීවත්වන ඇත්තවශයෙන්ම අවතැන් වූවන්ට නොව මේ රටේ ඡන්ද හිමිකමක්‌ නැති විදේශගත ද්‍රවිඩ ජාතිකයින්ට මෙරට ජන්දබලය ලබාදීමටයි. උතුර නැගෙනහිර හැර ත්‍රස්‌තවාදී ක්‍රියා සහ යුද්ධය හේතුවෙන් වෙනත් පළාත්වල අවතැන් වූවන්ට මෙම පනත ක්‍රියාත්මක නොවීමෙන් එය වඩාත් පැහැදිලියි. මෙයින් අපේ රටේ ජන්ද නාමලේඛන මුළුමනින්ම වෙනස්‌ කිêමක්‌ සිදුවෙනවා. අද අපේ රටේ ඡන්ද පැවැත්වීම කල්දැමීමේ ඇත්ත කතාව මෙය බවයි මගේ අදහස. ආණ්‌ඩුව මේ සැරසෙන්නේ දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත සම්මත කරගෙන විදෙස්‌ගත ද්‍රවිඩ විශාල පිරිසකට මෙරට ඡන්ද බලය ලබාදී ඉදිරි මහ මැතිවරණ, පළාත් මැතිවරණ, ජනාධිපතිවරණ සහ ජනමත විචාරණ සඳහා සූදානම් වීමටයි.


ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ පනත පසුගියදා ඉවත් කළා. ඒ වෙනුවට වෙනත් පනතක්‌ ගෙනඒමටත් ආණ්‌ඩුව සැලසුම් කරමින් සිටිනවා නේද?

අපේ රටේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ පනත ඉවත් කර අලූත් පනතක්‌ ගෙන ඒමත් ජිනීවා යෝජනාවල එක්‌ වගන්තියක්‌. ත්‍රස්‌තවාදය මර්දන පනත වෙනුවට ගෙන ඒමට සූදානම් කර ඇති මේ නව පනත් කෙටුම්පතත් රටට හානිකරයි. එහි ඇති සමහර ප්‍රතිපාදන දෙස බලන විට එය ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට පමණක්‌ නොවේ; රටට සිදුවන අසාධාරණයන්ට එරෙහිව යම් පුද්ගලයෙක්‌ ඉදිරිපත් වුවහොත් ඔහු සිරගත කිරීමටයි. ජිනීවා යෝජනා ලෙස ආණ්‌ඩුව මේ ක්‍රියාත්මක කරන්නට හදන්නේ දෙමළ ඩයස්‌පෝරාවේ ඉල්ලීම් සහ උවමනාවන්.

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/17/2016

බලය බෙදීම ක්‍රියාත්මක වුණොත් කෑලි නවයකට රට කැඩෙනවා

කතෘ:යුතුකම     12/17/2016   1 comment
නීතිඥ කල්‍යානන්ද තිරාණගම
-සාකච්ඡා කළේ පාලිත සේනානායක

විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම සහ පවතින මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම මේ ආණ්‌ඩුව පත්වනවිට ජනතාවට දුන් ප්‍රධාන ප්‍රතිඥා දෙකකි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ අරමුණ එය බව ප්‍රකාශ වුවද යෝජිත නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් ද ජනාධිපති බලතල එලෙසින්ම පවත්වාගෙන යැමට යෝජනා වී ඇතැයි පසුගියදා ප්‍රකාශ විය. යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අරමුණු පිළිබඳ මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.

වර්තමාන ආණ්‌ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිඥා දුන්නත් යෝජිත නව ව්‍යවස්‌ථාවෙනුත් ජනාධිපති බලතල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යැමට උත්සාහ දරන බව පෙනෙනවා?

ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය පිළිබඳ අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම මණ්‌ඩලය පත් කරන්නේ කරුණු 3 ක්‌ ඉටු කරගැනීමට බවයි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සහ බලය බෙදීම ඒ කරුණු තුනයි. මේ සඳහා පාර්ලිමේන්තුවේ කමිටු තුනක්‌ පත් කළා. ඊට අමතරව මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් කමිටු 6 ක්‌ පත් කළා. ජනතා අදහස්‌ විමසන්නත් වෙනම කණ්‌ඩායමක්‌ පත් කළා. ආණ්‌ඩුවේ උපදේශකයන් සහ ව්‍යවස්‌ථා විශාරදයන්ගේ උපදෙස්‌ මත මන්ත්‍රී කමිටු 6 ක්‌ විසින් දැන් වාර්තා 6 ක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මේ එක වාර්තාවකවත් අගමැතිතුමා සඳහන් කළ කරුණු තුනෙන් පළමු සහ දෙවැනි කාරණා ගැන එනම් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම පිළිබඳ කිසිදු සඳහනක්‌ නෑ. එම වාර්තා හයේම සඳහන් වන්නේ බලය බෙදීම ගැන පමණයි.

කරුණු තුනක්‌ ඉටුකර ගැනීමට කමිටු හයක්‌ පත්කරල ඒවායේ වාර්තා එනවිට කරුණු දෙකක්‌ හැලී යැමෙන් පෙනෙන්නේ මේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව ගේන්න හදන්නෙ ජනාධිපති බලතල ඉවත්කරන්නවත්, පවත්නා මැතිවරණ ක්‍රමය ඉවත් කරන්නවත් නෙමෙයි බලය බෙදීමට පමණක්‌ බවයි. බලය බෙදීම ජනතාවගේ ඉල්ලීමක්‌ නෙමෙයි. ජනතාව ඉල්ලුවේ ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට සහ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමටයි. සෝභිත හාමුදුරුවොත් කිව්වේ මේ ජනාධිපති ක්‍රමයත් මේ මැතිවරණ ක්‍රමයත් අපේ රටට නොගැලපෙන නිසා ඒවා ඉවත් කරන්න කියලයි. ආණ්‌ඩුවේ මේ නව ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේ අරමුණ බලය බෙදීමයි. ඒ අරමුණට ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම සහ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම එකතු කළේ නව ව්‍යවස්‌ථාවට එල්ල වන ජනතා විරෝධය වළක්‌වන්නටයි.

මේ ආණ්‌ඩුව බලයට පත්කර ගන්න බොහොම මහන්සි වුණු පිරිසක්‌ ඉන්නවා. ඒ දෙමළ ඩයස්‌ පෝරාව, දෙමළ බෙදුම්වාදීන් සහ ඇතැම් විදේශ රටවල්. මේ තුන්ගොල්ලන්ගෙ එකම ඉල්ලීම වුණේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කිරීමවත්, මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමවත් නෙමෙයි, බලය බෙදල උතුරු නැගෙනහිරට වෙනම පාලනයක්‌ දීමයි. ඒ ඉල්ලීම ඉටුකිරීම තමයි මේ නව ව්‍යවස්‌ථාවේ සැබෑ අරමුණ.

දෙමළ ජනතාව ඉතාම පැහැදිලිව ඒ අයගෙ ඉල්ලීම් ඉදිරිපත් කරල තිබෙනවා. ඒ ඉල්ලීම්වලට ආණ්‌ඩුව තමන්ගේ ස්‌ථාවරය ප්‍රකාශ නොකර ඒ ප්‍රශ්නය ජනතාවට සහ විවිධ කමිටුවලට භාරදීලද?

ආණ්‌ඩුව මේ ප්‍රශ්නය පිළිබඳ ආණ්‌ඩුවේ විසඳුම නොකියන්නේ රහසක්‌ තිබෙන නිසා බවයි මගේ අදහස. දෙමළ ජනතාව උතුර නැගෙනහිර එක්‌කර වෙනම පාලනයක්‌ ඉල්ලනවා. ඉඩම් බලතල, පොලිස්‌ බලතල ඉල්ලනවා. ආණ්‌ඩුකාරවරයාගේ බලතල ඉවත්කරන ලෙස ඉල්ලනවා. ඔවුන් උතුරු නැගෙනහිරට නිදහස්‌ ස්‌වාධීන පාලනයක්‌ ඉල්ලද්දී ආණ්‌ඩුව ඒක අමතක කරල සංහිඳියාවක්‌ ගැන කතා කරනවා. එහෙම කළා කියල දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනස්‌ වෙන්නේ නෑ. ආණ්‌ඩුවේ ප්‍රධානීන් යාපනේට ගිහින් සිංහල මිනිස්‌සුන්ට ආරාධනා කරනවා දෙමළ ජනතාව විඳින දුක බලන්න එන්න කියල. ප්‍රශ්නෙට උත්තරේ ඒක නෙමෙයි. මෙන්න අපේ විසඳුම කියල එක්‌සත් ජාතික පක්‌ෂයවත්, ආණ්‌ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රීලනිප කණ්‌ඩායමවත් ජනාධිපතිතුමාවත් කියන්නෙ නෑ.

ප්‍රශ්නෙ විසඳන්න ඕන බලතල තියෙන අයනෙ. ජනතාව ඒ අයට බලතල දුන්නෙ ප්‍රශ්නෙ විසඳන්න. මේකට විසඳුම මොකක්‌ද කියල ජනතාවගෙන් අහල වැඩක්‌ නෑ. මම නම් හිතන්නෙ මේකට විසඳුම මොකක්‌ද කියල ජනතාවගෙන් අහන්නෙ ආණ්‌ඩුව ඇඟ බේරා ගන්නයි.

ඡේ. ආර්. ජයවර්ධන මහතා 13 වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව ගෙනැල්ල පළාත් සභා දුන්නත් එයින් එහාට ගිහින් විධායක ජනාධිපති ක්‍රමය නැතිකරන්න ගියේ නෑ. එයට හේතුව විධායක ජනාධිපති ක්‍රමය පැවතුණොත් විතරයි. ඒ පවතින රාමුව තුළ ශ්‍රී ලංකාවට ඒකීය රටක්‌ ලෙස පැවතිය හැක්‌කේ. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරල බලතල බෙදුවොත් රට බෙදෙනවා. ඒක වළක්‌වන්න බෑ. ඡේ. ආර්. ජයවර්ධන මහතාවත් ප්‍රේමදාස මහතාවත් ඒකට කැමැති වුණේ නෑ. චන්ද්‍රිකා ජනාධිපතිනිය එය කරන්න හැදුවත් එදා එජාපය එයට එරෙහි වෙලා පාර්ලිමේන්තුවේ ඒ පනත ඉරල දැම්මා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කියල එකක්‌ පත් කළේ සියලු පක්‌ෂ එකතුවෙලා ඒ පාපකර්මෙ කරන්න. නමුත් ඒක කරන්නත් බැරිවුණා. හේතුව මේක තුළිනුත් හැමෝම බලන්නෙ අනුන් පරද්දල තමුන් බලයට එන්න.

අද කරන්න හදන්නෙත් සියලු දෙනා හවුල් කරගෙන ඔය පාප කර්මය කරන්න. ජනතාවගෙනුත් අදහස්‌ විමසමින් ජනතාවත් හවුල් කරගන්නව. ඔය පත්කළ කමිටුවලත් රට ගැන හැඟීමක්‌ තියෙන අය ඉන්න බවක්‌ පෙනෙන්න නෑ. රට පුරා අදහස්‌ විමසීම් වගේම සියලු පක්‌ෂ නියෝජනයන් තිබෙන බව පෙන්වන්නෙ මේ කරන්න හදන දේට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක්‌ දෙන්නයි. මේ ක්‍රියාවලියට විරුද්ධ අයගේ පවා නම් මේ කමිටුවලට ඇතුළත් කර තිබෙනවා. සියලු දේශපාලන පක්‌ෂ සම්බන්ධ කර ගන්නවා. ඒ අයගෙ නම් කමිටුවල තිබෙනවා. නමුත් ඒ අය කියන්නෙ අපේ යෝජනා කිසිවක්‌ මේකට ඇතුළත් කරල නෑ කියල. මේ මේ දේවල්වලට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කළා කියලවත් කිසිතැනක සඳහන් වෙන්නේ නෑ. සියලු පක්‌ෂ නියෝජනයෙන් සහ මුළු රටේම ජනතාවගේ අදහස්‌ විමසා මේ ව්‍යවස්‌ථාව සම්පාදනය කරන බව ප්‍රකාශ කරන්නෙ ඊට සුජාත භාවයක්‌ ආරෝපණය කරන්නයි. නමුත් අවසන් වාර්තාවේ තිබෙන්නේ බලය බෙදීම පමණයි.

13 ව්‍යවස්‌ථා සංශෝධනයට එහා බලයක්‌ අවශ්‍යයි යන්න උතුරේ මහ ඇමැතිවරයාගේ ඉල්ලීමක්‌. මේ ඉල්ලීමත් පළාත් සභාවලට බලතල පැවරීමත් පිළිබඳ ඔබේ මතය කුමක්‌ද?

රටේ ඒකීය භාවයේ සීමාව තමා 13. ආණ්‌ඩුකාරවරයා පත්කරන්නෙ ජනාධිපති. පැරණි ව්‍යවස්‌ථාව අනුව ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිගෙ නියෝජිතයෙක්‌. ආණ්‌ඩුකාරවරයාගේ අනුමැතිය නැතිව මහඇමැතිවරයාට හිතුවක්‌කාර ලෙස කටයුතු කරන්න බෑ. පනතක්‌ ගෙනාවත් ආණ්‌ඩුකාරවරයාගේ අනුමැතිය ඊට අවශ්‍යයි. රාජ්‍ය සේවය ක්‍රියාත්මක වෙන්නෙත් ආණ්‌ඩුකාරවරයාගේ අනුදැනුම ඇතිව. මුදල් පාලනයත් තිබෙන්නේ ආණ්‌ඩුකාරවරයා යටතේ. රටේ එකීය භාවය ආරක්‌ෂා වෙන්නෙ ආණ්‌ඩුකාරවරයා සතු මේ බලතල නිසයි. මේ අයගෙ ඉල්ලීම ආණ්‌ඩුකාරවරයා කටයුතු කළ යුත්තේ මහඇමැති සහ පළාත් සභාවේ ඇමැති මණ්‌ඩලයට අනුව බවයි. යම්විදිහකින් එය ඉටුවුණොත් එය රටේ ඒකීය භාවයට තර්ජනයක්‌.

ආණ්‌ඩුවේ බලතල රට පුරා ක්‍රියාත්මක වෙන්නෙ දිසාපති හා මහලේකම් කාර්යාල හරහා. ඒ සෑම තැනකම සිටින්නේ රජය පත් කරන නිලධාරීන්. එය මහ ආණ්‌ඩුවෙන් ඉවත් කර පළාත් සභාවලට පැවරිය යුතු බව තවත් ඉල්ලීමක්‌. එවිට මේ නිලධාරීන් ක්‍රියාත්මක වන්නේ මහ ඇමැතිවරයා යටතේ. මෙතෙක්‌ රට පුරා එකම ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක වීම ඉන්පසු අහෝසි වෙනවා. ඉන්පසු ඇතිවන්නේ ඒ ඒ පළාත්වල මහ ඇමැතිවරුන්ට උවමනා පරිදි ක්‍රියාත්මක වන රාජ්‍ය සේවයක්‌. ඒ අනුව පළාත් නවයේ ආකාර නවයකට අනුවයි, රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ. මේ නිසා රටේ බහුතර ජනතාවට විශාල අසාධාරණයක්‌ සිදු වන්නට පුළුවන්. නීතිය සමානව ක්‍රියාත්මක වීම බිඳවැටීමෙන් රට බරපතළ අවුල් සහගත තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. එවිට ඒ ඒ පළාත් සභාවල තීරණ අනුවයි, එක්‌ එක්‌ පළාත් සභාවල කටයුතු කෙරෙන්නේ. රට පුරා නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට අහිමි වෙනවා. එය භයානක තත්ත්වයක්‌. මේ බලය බෙදීම් ක්‍රියාත්මක වුණොත් රට දෙකට නෙමෙයි මම හිතන්නේ, රට නවයකට කැඩෙනවා.

දිවයින ඉරිදා සංග්‍රහය
[2016-12-18]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

10/22/2015

මේ මෙරට බිහිසුණුම - දුර්දාන්තම ආණ්ඩුවයි - නීතිඥ කල්‍යාණන්ද තිරාණගම [video]

කතෘ:යුතුකම     10/22/2015   No comments
සැබෑ විපක්ෂයේ හඬ නිහඬ කරමින් , ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ,විරුද්ධ මතධාරීන් මර්ධනය කරමින් , රට අධිරාජ්‍යවාදයට පාවාදෙමින් මේ තිබෙන්නේ ඉතිහායස පුරාම මෙරට පැවති බිහිසුණුම , දුර්දාන්තම ,ද්‍රෝහීම ආණ්ඩුව බව නීතිඥ  කල්‍යාණන්ද තිරාණගම මහතා පෙන්වා දෙයි.
පසුගියදා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී යුතුකම සංවාද කවය සංවිධානය කළ බිල්ලො ඇවිත් සම්මන්ත්‍රණයේ විශේෂ දේශනයක් පවත්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කල්‍යාණන්ද තිරාණගම මහතා:

"මේ ආණ්ඩුව මේ රටේ පහල වුණු බිහිසුණුම ආණ්ඩුව. මොකද ආණ්ඩුවක් කරන්න ඕනෑ පළවෙනි දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම. මේ ආණ්ඩුව පටන් ගත්තෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා. දිගින් දිගටම මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිටිනවා. ජනාධිපතිවරයා දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව නිහඬ කරන්නට උත්සාහ ගන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතාකරන්න දෙන්නේ නෑ. පාර්ලිමේන්තු බලතල උදුරගන්න උත්සාහ කරනවා. මේ සියල්ල කරන්නේ ඇයි?

එසේම තව දෙයක් කිව යුතුයි , මේ කතාකරපු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, දූශණය පිටු දැකීම කියන එකක්වත් මේ ආණ්ඩුව තුල නෑ.

මම මේ කියන කාරණා සනාත කරන්න පුලුවන් කරුණු මගෙ ලඟ තියෙනවා, ඒ නිසා මට කියන්න පුලුවන් බයක් සැකක් නැතුව. පොඩි උදාහරණයක් අරන් බලන්න, නීතිය පාවිච්චි කරනවා දේශපාලන පළිගැනීම උදෙසා ආණ්ඩුවේ නායකත්වයට එරෙහිව කතාකරන සහ කරුණු දක්වන අය නිහඬ කිරීමට.

පොඩ්ඩක් ඔබ කල්පනා කරල බලන්න ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා රිමාන්ඩ් කිරීමේ සිද්ධිය. ඔහුව රිමාන්ඩ් කරේ මොකටද? 1999 වසරේ වෙච්ච වරදක් නිසාලු. 1999 වසරේ වරදක් උනානම්, එහෙම මිනී මැරුමක් උනා නම්, 2001 සිට 2004 වසර දක්වා එක්සත් ජාතික පක්ශ ආණ්ඩුවක් තිබුනා. ඒ එක්සත් ජාතික පක්ශ ආණ්ඩුව මේ ගැන කටයුතු කලේ නෑ. කරන්න බැරි නිසාද?

එහෙනම් මොකද්ද මේ කරේ? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ බලතල උදුරගන්නකොට ඊට විරුද්ධව කතාකරපු මිනිහා තමයි ජනක බණ්ඩාර තෙන්නකෝන්. ඔහුගෙන් පලිගැනීම සඳහා කරන වැඩයි මේ. මේවා රටක සිදු නොවිය යුතු දේවල්. මේකෙන් පේනවා කොහෙටද මේ රට ගෙනියන්න හදන්නේ කියලා. සියලු විරුද්ධවාදීන්ගේ කට වහලා බලහත්කාරයෙන් මේ රට විජාතික කරණය කිරීමේ වැඩ පිලිවෙල තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මේ ක්‍රමය දිගටම පැවතුනොත්, මට තේරෙන විදියට 2020 වෙනවිට ශ්‍රී ලංකාද්විපය කියන එක ඉතුරුවෙන එකක් නෑ.

එකක් , ඉන්දියාවත් සමග ඔය කියන පාලම සහ උමග හැදුවොත්, මේ රට තව දුරටත් ද්වීපයක් වෙන්නෙ නෑ, එතකොට ද්වීපය ඉවරයි. ඉතිහාසයේ මුලුල්ලේම පැවතිලා අපේ රටේ අනන්‍යතාව ආරක්ශා උනේ පෝක් සමුද්‍ර සන්ධිය නිසා. ඒක නැති කරල මේ රටවල් දෙක එකතු කරන්න හදනකොට, ඉන්දියාවේ ඊලඟ ප්‍රාන්ත රාජ්‍ය ශ්‍රී ලංකාව වීම වලක්වන්න බෑ. ඒ විතරක් නෙවෙයි, ඒත් සමගම මේ රට තව කෑලි තුනකට හතරකට කැඩීම වලක්වන්න බෑ , පැහැදිලියි ඔය ජිනීවා යෝජනා වල ඉලක්කයත් ඒක. ආණ්ඩුව සමග හවුල් වෙලා ඉන්න බොහෝ දේශපාලන බලවේග වල ඉලක්කයත් ඒක.

එතකොට තවදුරටත් මේ ශ්‍රී ලංකාද්වීපය ඒකීය රටක් වශයෙන් පවතිනෙ නෑ, ඒ විතරක් නෙවෙයි තව බොහෝ දේ අහිමි වෙනව අපිට.
ඔබ දන්නවාදැයි මම දන්නෙ නෑ, 2002 දී රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආණ්ඩුව නීතියක් ගෙනාවා ලංකාවේ ජල සම්පත විකුනලා දාන්න. ඒ වෙලාවෙදි මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා ඒ පනතට විරුද්ධව. ඒකෙදි කොළඹ තියෙන IWMI ( International Water Management Institute ) කියන ආයතනය වාර්ථාවක් ඉදිරිපත් කලා. ඒ ආයතනය එකදහස් නවසිය අනූ ගනන් වල ඇමරිකාවෙ පිහිටවපු එකක්. මොකද්ද ඒ වාර්ථාවෙන් කියන්නෙ, වසර 2020 වෙනකොට ආසියාවේම බීමට සුදුසු පිරිසිදු ජලය ඉතිරිවෙන්නෙ ලංකාවේ පමණයි.

එතකොට ජල සම්පත තෙල් වලට වඩා වටින දෙයක් වෙනවා. ඒ වටිනාකම කලින්ම දැකලා මොවුන් ඒ සඳහා පර්යේශණ කිරීමේ මධ්‍යස්ථානයක් ලංකාවේ පිහිටෙවුවා. ඒ මධ්‍යස්ථානය මගින් සැලැස්මවල් හදලා ඒ සම්පත කොල්ලකෑම සඳහා කල් ඇතුවම ලෑස්ති උනා.
ඒ වගේමයි අපේ ජෛව සම්පත කොල්ලකෑමට ලෑස්තිවීම. සිංහරාජ වනය කියන්නෙ ලෝකෙටම වටින ජෛව සම්පත අතින් අනූන වනාන්තරයක්. 2003 වසරෙදි රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආණ්ඩුව කාලෙ සිංහරාජෙ ඇතුලෙ සියලුම ලඳු කැලෑ තිස් අවුරුද්දකට ඇමරිකාවට බදු දීමට වැඩපිලිවෙලක් ලක ලෑස්ති උනා. ඒක කරන්න ලැබුනේ නෑ රටේ ජනතාවගෙන් එල්ල වුනු විරෝධය නිසාත් 2004 වසරේදී ආණ්ඩුව පෙරලුනු නිසාත්.
අන්න ඒ වගේ මේ රටේ පැවැත්මට ඉතාම භයානක විදියට බලපාන දේවල් සිදුවේගන යනවා මේ ආණ්ඩු කාලය තුලත්.

ඒ නිසා මේ ආණ්ඩුව ගෙනයන මේ වැඩපිලිවෙල පරාජය කිරීමට කටයුතු කිරීම මේ රටේ සකල දේශප්‍රේමී ජනතාවගේ යුතුක්මක්, වගකීමක්. ඇත්තවශයෙන්ම ඒ සම්බන්දයෙන් කරන්න බොහෝ දේවල් තියෙනවා. තියෙන කනගාටුවට කාරණය වන්නේ ඒ සම්බන්දයෙන් යමක් කල යුතු , කල හැකි පිරිස් එ සම්බන්දයෙන් කිසිවක් නොකර සිටීම.
උදාහරණයක් වශයෙන් ගත්තොත් , අර අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂනයක් කලා කියල අපේ ස්වාමීන් වහන්සේලා 14 නමකුත්, තවත් මංත්‍රීවරු ඇතුලු පිරිසකුත් අත් අඩංගුවට ගත්තා.ඇත්ත වශයෙන්ම මේක පොලීසිය කරපු අත්තනෝමතික ක්‍රියාවක්, පොලිසියට එහෙම කරන්න බෑ. මම ඒ අවස්ථාවේ එතන හිටපු නාමල් වගේ මංත්‍රී වරුන්ගෙන් ඇහුව ඇයි ඔයගොල්ලෝ මේවට නිහඬව ඉන්නේ, මේ පොලීසියෙ ඔ අයි සී ට විරුද්ධව දාන්න මූලික අයිතිවාසිකම් නඩුවක්, මොකද එක තැනක පෙලපාලි තියන්න දෙනවා, තව තැනක වලක්වනවා උසාවි නියෝග අරගෙන. නීතිය භුක්ති විඳීමේ සමාන අයිතිවාසිකම කඩ වෙනවා එතන.
එහෙම කරන්න ඉඩ දෙන්න බෑ. මේක වලක්වන්න තිබුනා. ඒ විතරක් නෙවේ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රීලංකා නිදහස් පක්ශයේ මධ්‍යම කාරක සභාව රැස් වෙන එක වලක්වලා උසාවි නියෝගයක් ගත්තා, ඊට පසුවෙනිදම උසාවි ගිහින් ඒකට උත්තර බඳින්න තිබුනා, ඒව කරේ නෑ. පක්ශෙ ලේකම් එලියට දානකොට ඒකට විරුද්ධව කටයුතු කලේ නෑ. ඒ වගේ කලයුතු දේවල් වෙලාවට කලානම් මේ ගොඩක් දේවල් වලක්වගන්න තිබුනා. තියෙන අවාසනාව තමයි දේශපාලනයට සම්බන්ද නීතීඤ්ඥයන් ඉන්නවා, ඔවුන්ට මේවායේ පෙරමුණ ගන්න තිබුනා, මේවා වලක්වගන්න තිබුනා,. අපේ උසාවි වල තවමත් සෑහෙන ස්වාධීනත්වයක් තිබෙනවා. ඒවා පාවිච්චි කරන්න තිබුනා, මොකද එක පොලිස් නිලධාරියෙක් අත්තනෝමතික විදියට වැරදි දෙයක් කලානම්, ඒකට පියවර ගත්තනම්, ඊළඟ නිලධාරියා ඒ වගේ දෙයක් කරන්න කලින් දෙපාරක් හිතනවා.

ඒ නිසා මට කියන්න උවමනා, මේවට බය වෙන්න අවශ්‍ය නෑ. නඩු දානවා කියල බය කරාට බය වෙන්න ඕනෙ නෑ. නඩු දානවනම් ඕන තරම් නඩු දාන්න පුලුවන්. නඩුව ගෙනියන්න පුලුවන් ඊළඟ ආන්ඩුව වෙනස් වෙනකම්.මොකද ලංකාවෙ නඩු අහන පිළිවෙලට අවුරුදු දහයක් පහලවක් යනවා නඩුව අහලා ඉවර වෙන්න, එතකොට රටේ පාලන තන්ත්‍රය වෙනස්වීමත් එක්ක නඩු දාපු මිනිස්සුන්ටත් විරුද්ධව නඩු දාන්නට කාරණා එකතුවෙලා තියේවි.
ඒ නිසා බය නොවී මේවාට මුහුණ දෙමු. මේ රට බේරා ගැනීමට වැඩ කරමු කියන කාරණයයි මම ඔබට කිව යුත්තේ."

සටහන : දර්ශන යූ මල්ලිකගේ
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions